2026 පෙබරවාරි 18 දිනැති අංක PS/SB/Circular/2/2025 දරන රාජ්‍ය සේවා චක්‍රලේඛයට අනුව, සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් (Internal Affairs Unit - IAU) ස්ථාපිත කළ යුතු වේ.
මෙහි සමස්ත අරමුණ වන්නේ, රාජ්‍ය නිලධාරීන්ගේ අවංකභාවය සහ සදාචාරාත්මකභාවය ආරක්ෂා කරමින්, අල්ලස් හා දූෂණයෙන් තොර ශ්‍රී ලාංකීය රාජ්‍ය සේවයක් ගොඩනැගීමයි. මෙම අරමුණ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වැනි ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාවට පැවරී ඇති, එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතිය (United Nations Convention Against Corruption – UNCAC) සහ ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවෙකු වන දූෂණ වැළැක්වීම සම්බන්ධ අනෙකුත් ජාත්‍යන්තර සම්මුති ක්‍රියාත්මක කිරීමේ බැඳීම් ඉටු කිරීම මෙන්ම, 2023 අංක 9 දරන අල්ලස් විරෝධී පනතේ අරමුණු සහ ඒ හා සම්බන්ධ අනෙකුත් රජයේ වැඩසටහන් සාක්ෂාත් කිරීම සමඟ ද අනුකූල වේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය 2025 අප්‍රේල් 9 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාපිත කරන ලදී.
ඉහත සඳහන් චක්‍රලේඛයට අනුව, අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු පහත පරිදි වේ:
1. ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ අවංකභාවය මත පදනම් වූ ආයතනික සංස්කෘතියක් වර්ධනය කිරීම.
2. ආයතනයේ සියලුම කටයුතුවල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම මෙන්ම, ආයතනයේ ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු මහජනතාවට ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම.
3. ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
4. අක්‍රමිකතා වාර්තා කිරීම දිරිගන්වන, තොරතුරු හෙළි කරන්නන් (Whistleblowers) ආරක්ෂා කරන සහ රහස්‍යභාවය සුරක්ෂිත කරන ආරක්ෂිත හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි පද්ධතියක් සංවර්ධනය කිරීම.
5. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් නීතිය බලාත්මක කිරීම සඳහා සහාය වීම.
අභ්‍යන්තර කටයුතු ඒකකයේ වගකීම් සහ කාර්යයන්
1. ආයතනය තුළ පවතින පද්ධතිමය බාධක හඳුනා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක ක්‍රියාපටිපාටි සහ චක්‍රලේඛ සමාලෝචනය කර, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
2. ආයතනය තුළ දූෂණය සහ සදාචාර විරෝධී හැසිරීම් සිදුවිය හැකි අවදානම් සහිත ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා දූෂණ අවදානම් තක්සේරු (Corruption Risk Assessments - CRAs) සිදු කර, ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම.
3. ආයතනයේ අවශ්‍යතාවලට ගැළපෙන නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික අඛණ්ඩතා ක්‍රියාකාරී සැලැස්මක් (Institutional Integrity Action Plan) සකස් කර ක්‍රියාත්මක කිරීම.
4. ආයතනික ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මට අනුගත කිරීම මඟින් ජාතික දූෂණ විරෝධී අරමුණු සම්පූර්ණයෙන්ම ඉටු වන බව සහතික කිරීම.
5. 2023 අංක 9 දරන අල්ලස් විරෝධී පනත ඇතුළු ජාතික සහ ජාත්‍යන්තර දූෂණ විරෝධී නීතිවලට ආයතනය අනුකූල වන බව තක්සේරු කිරීම සඳහා නිරන්තර අනුකූලතා සමාලෝචන (Compliance Reviews) සිදු කර, වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම.
6. සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවකයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීතිමය අවශ්‍යතාවලට අනුකූල වන බව සහතික කිරීම සහ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රෙගුලාසි සහ අංක 9 දරන 2023 අල්ලස් විරෝධී පනතට අනුව, බැඳියාවන් අතර ගැටුම් (Conflicts of Interest) කළමනාකරණය කිරීම.
7. ආයතනය තුළ දූෂණය සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම; එම පැමිණිලි අදාළ නිලධාරීන් හෝ ඒකක මඟින් කඩිනමින් විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා බව සහතික කිරීම; අදාළ පාර්ශ්වයන් වෙත නිරන්තර ප්‍රතිචාර ලබා දීම තුළින් විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම; අවශ්‍ය අවස්ථාවලදී 2023 අංක 9 දරන අල්ලස් විරෝධී පනත යටතේ විමර්ශනය සඳහා අදාළ කරුණු, සොයාගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
8. ආයතනය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳව සඳහන් පුරවැසි ප්‍රඥප්තියක් (Citizen’s Charter) සකස් කර ප්‍රකාශයට පත් කිරීම.
9. රාජ්‍ය නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු සම්මත ආචාරධර්ම සංග්‍රහයක් (Code of Conduct) ඇතුළුව සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීම.
10. පුහුණු වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු ක්‍රියාමාර්ග මඟින් සේවකයන් දූෂණ විරෝධී මූලධර්මයන්ට කැපවීමට දිරිගැන්වීම.
11. ජාතික දූෂණ විරෝධී අඛණ්ඩතා තක්සේරුව (National Anti-Corruption Integrity Assessment) සඳහා ආයතනික සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Focal Point) ලෙස කටයුතු කරමින්, CIABOC සහ ජාතික දූෂණ විරෝධී රාමුව මඟින් ලබාදෙන මාර්ගෝපදේශ අනුව ආයතනය එම තක්සේරු ක්‍රියාවලියට සහභාගී වන බව සහ එයට අනුගත වන බව සහතික කිරීම.
12. අභ්‍යන්තර කටයුතු ඒකකයේ රාජකාරි ඉටු කිරීම සඳහා අඛණ්ඩ මාර්ගෝපදේශනය සහ සහාය ලබා ගැනීම වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) සමඟ සම්බන්ධීකරණය පවත්වාගෙන යාම.
13. අභ්‍යන්තර කටයුතු ඒකකයේ ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී වැඩසටහන්වල ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ ඇතුළත් කාලාන්තරික සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.
14. අඛණ්ඩතා සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
අභ්‍යන්තර කටයුතු ඒකකය,
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය,
ජනරජ ගොඩනැගිල්ල,
සර් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.
දුරකතන අංක: +94 11 771 1107
විද්‍යුත් ලිපිනය: iau@mfa.gov.lk

