
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ විශේෂ නියෝජිත (SRSG-VAC) ආචාර්ය නජාත් මල්ලා ම'ජිඩ්, 2026 ජූනි 21 සිට 27 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූවාය. සිය සංචාරය අතරතුර, දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය (SAARC), ශ්‍රී ලංකා රජය, දකුණු ආසියාව සඳහා වන යුනිසෙෆ් කලාපීය කාර්යාලය (UNICEF ROSA), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ විශේෂ නියෝජිත කාර්යාලය (SRSG-VAC) එක්ව සංවිධානය කළ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම පිළිබඳ දකුණු ආසියානු අමාත්‍ය සමුළුවේ ප්‍රධාන දේශනය ඇය විසින් පවත්වන ලදී. මෙම කලාපීය සමුළුව 2026 ජූනි 23 සහ 24 යන දිනවල කොළඹදී පැවැත්විණි.
සමුළුවේ ආරම්භක දේශනයේදී ආචාර්ය ම'ජිඩ් විසින් ගෝලීය වශයෙන් බෙදීම් වර්ධනය වෙමින් පවතින වර්තමාන පසුබිම තුළ, ළමා ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා බහුපාර්ශ්වික සහයෝගීතාවේ වැදගත්කම අවධාරණය කරන ලදී. සියලු තත්ත්යන්හිදී සියලු ආකාරයෙන් ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා කලාපීය රටවල් අතර ඒකාබද්ධ ප්‍රයත්නයන් තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙම සමුළුව වැදගත් අවස්ථාවක් බවද ඇය පෙන්වා දුන්නාය.
සිය සංචාරය අතරතුරදී ආචාර්ය ම'ජිඩ් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සමඟද සාකච්ඡා පැවැත්වීය. එහිදී ජාතික ළමා ආරක්ෂණ පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීම සහ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම හා ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා කලාපීය හා ගෝලීය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.
විශේෂ නියෝජිතවරිය, යුරෝපා සංගමයේ සහ යුනිසෙෆ් ආයතනයේ සහාය ඇතිව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් ස්ථාපිත කොට 2025 සැප්තැම්බර් මාසයේදී විවෘත කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම “ළමා හිතකාමී” අධිකරණ සංකීර්ණය නිරීක්ෂණය කිරීම සඳහා මහනුවර මහාධිකරණයද වෙතද සංචාරය කළාය.
මෙම සංචාරය මගින් ළමා සුබසාධනය ප්‍රවර්ධනය කිරීම, ළමා ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම සහ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය යළිත් තහවුරු කෙරිණි.ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (UNCRC) රාජ්‍ය පාර්ශ්වකරුවෙකු වන අතර, එහි පළමු සහ දෙවන විකල්ප ප්‍රොටෝකෝලවලට මෙන්ම ළමා ශ්‍රමය සම්බන්ධ ප්‍රධාන ජාත්‍යන්තර කම්කරු සංවිධාන (ILO) සම්මුතීන්ටද අනුමැතිය ලබාදී ඇත. තවද, ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා ක්‍රියාත්මක Pathfinding Global Alliance හි සාමාජිකයෙකු ලෙසද ශ්‍රී ලංකාව කටයුතු කරයි.
ආචාර්ය නජාත් මල්ලා ම'ජිඩ් 2019 වසරේ සිට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ විශේෂ නියෝජිතවරිය ලෙස කටයුතු කරමින්, ළමුන්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම හා තුරන් කිරීම සඳහා ගෝලීය ප්‍රචාරණ කටයුතු සහ හවුල්කාරිත්වයන්ට නායකත්වය ලබා දෙයි.
ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතවරයා යනු, ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ එය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා කැපවී කටයුතු කරන ස්වාධීන ගෝලීය ප්‍රවර්ධකයෙකි. මෙමඟින්, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කරන අතර, ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය, කලාපීය සංවිධාන, ජාතික ආයතන, සිවිල් සමාජ සංවිධාන සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වර්ධනය කරයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2026 ජූලි 30 වැනි දින




