නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය ගරු වින්ස්ටන් පීටර්ස් මහතාගේ ආරාධනාවකට අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2026 මැයි 26 සිට 31 වැනි දින දක්වා නවසීලන්තයේ නිල සංචාරයක නිරත විය.
අමාත්‍ය හේරත් මහතා වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීම මෙම සංචාරයේ සුවිශේෂී සිදුවීමක් විය. නවසීලන්ත විදේශ අමාත්‍යවරයා, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ ශ්‍රී ලාංකික ප්‍රජාවද මෙම අවස්ථාවට සහභාගී වූහ.
නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍යාංශයේදී අමාත්‍ය හේරත් මහතාට සාම්ප්‍රදායික මඕරි පෝහිරි (Māori Pōwhiri) පිළිගැනීමක් ලබා දුන් අතර, ඉන් අනතුරුව අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සමඟ පුළුල් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. දේශපාලනික මැදිහත්වීම, වෙළෙඳාම සහ ආයෝජන, කෘෂිකර්මාන්තය සහ කිරි නිෂ්පාදන අංශයේ සහයෝගීතාව, අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය සහ ක්‍රීඩා ඇතුළු ද්විපාර්ශ්වික උනන්දුවක් දක්වන කරුණු රාශියක් පිළිබඳව දෙපාර්ශ්වය ඵලදායී සාකච්ඡාවල නිරත වූහ. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වර්ධනය වන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔවුන් සතු කැපවීම නැවත තහවුරු කරන අතරම, වෙළෙඳ හා ආයෝජන ගිවිසුමක් (TIFA) හරහා ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට අමාත්‍යවරු දෙදෙනා එකඟ වූහ.
මෙම සංචාරය අතරතුර, අමාත්‍ය හේරත් මහතා නවසීලන්ත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ජෙරී බ්‍රවුන්ලි, පරිසර අමාත්‍ය, වෙළෙඳ හා ආයෝජන රාජ්‍ය අමාත්‍ය, කාන්තා කටයුතු අමාත්‍ය සහ හදිසි අනතුරු වන්දි සංස්ථාව පිළිබඳ සහකාර අමාත්‍ය නිකොලා ග්‍රිග්, කෘෂිකර්ම අමාත්‍ය, වන විද්‍යා සහ වෙළෙඳ හා ආයෝජන අමාත්‍ය සහ විදේශ කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය ටොඩ් මැක්ලේ, ක්‍රීඩා හා විශ්‍රාන්ති කටයුතු අමාත්‍ය මාර්ක් මිචෙල් සහ තෘතීයික අධ්‍යාපන අමාත්‍ය පෙනී සිමන්ඩ්ස් යන මහත්ම මහත්මීහු සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර බහුවිධ අංශ හරහා දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළහ.
අමාත්‍ය හේරත් මහතා විදේශ කටයුතු පිළිබඳ විපක්ෂ ප්‍රකාෂිකා වනුෂි වෝල්ටර්ස් මහත්මිය සහ නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ නියෝජ්‍ය සභාපති කෙවින් මැලෝයි මහතා ද හමුවිය. ඔහු කෘෂිකාර්මික හරිතාගාර වායු පිළිබඳ ගෝලීය පර්යේෂණ සන්ධානය සමඟ අන්තර්ක්‍රියාකාරී සැසියක නිරත වූ අතර ආසියා නවසීලන්ත පදනම සමඟ වටමේස සාකච්ඡාවකට සහභාගී විය.
ඕක්ලන්ඩ්හි ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා වූ ඔහුගේ සැලසුම්ගත කටයුතුවල කොටසක් ලෙස, නවසීලන්තයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නියෝජිතයින් ඉදිරියේ අමාත්‍යවරයා ඕක්ලන්ඩ් ව්‍යාපාරික මණ්ඩලය ඇමතූ අතර, ‘ෆොන්ටෙරා’ ප්‍රධාන කාර්යාලයටද ගියේය. ඔහු ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ නායකයින් හමුවූ අතර ඔහුගේ අධ්‍යාපන ප්‍රවර්ධන කටයුතුවල කොටසක් ලෙස ලින්කන් විශ්වවිද්‍යාලය වෙතද ගියේය.
ක්‍රයිස්චර්ච් භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සිහි කිරීම සඳහා පැවති ස්මාරකයට පුෂ්පෝපහාර පැවැත්වීමේ උත්සවයකට අමාත්‍යවරයා සහභාගී වූ අතර, ඒ සඳහා ක්‍රයිස්චර්ච්හි නියෝජ්‍ය නගරාධිපති වික්ටෝරියා හෙන්ස්ටොක්ද සහභාගී විය.
සංචාරය අතරතුර පැවති පුළුල් හා ඵලදායී සාකච්ඡා තුළින් ඉස්මතු වූ ධනාත්මක ප්‍රගතිය පවත්වා ගැනීමේ වැදගත්කම දෙපාර්ශ්වයම හඳුනා ගත්හ. අමාත්‍ය හේරත් මහතාගේ සංචාරයේ සහ ගරු වින්ස්ටන් පීටර්ස් මහතාගේ 2025 ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රතිඵල මත පදනම්ව, ශ්‍රී ලංකා - නවසීලන්ත සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, සවිමත් පදනමක් ගොඩනඟා ගැනීමට ඔවුහු එකඟ වූහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2026 ජුනි 02 වැනි දින

