ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩකාරී අන්තවාදය මැඬලීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත බලාත්මක කරයි

ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩකාරී අන්තවාදය මැඬලීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත බලාත්මක කරයි

Photo 1new

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සහ ප්‍රති-ත්‍රස්තවාදය පිළිබඳ විධායක අධ්‍යක්ෂ කාර්යාලයේ විධායක අධ්‍යක්ෂිකා මිෂෙල් කොනින්ස් මහත්මිය 2019 ජුනි 7- 8 යන දිනවලදී කළ ශ්‍රී ලංකා සංචාරය අතරතුර පැවැති සාකච්ඡාවලදී ජාත්‍යන්තර සම්මතවලට හා පරිචයන්ට අනුකූලව, එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණ සමඟ සහයෝගීතාවෙන් කටයුතු කිරීමේ නිශ්චිත පියවර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි. ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සහ වත්කම් අත්හිටුවීම, විදේශීය ත්‍රස්ත සටන්කාමීන්ට එරෙහිව කටයුතු කිරීම, ප්‍රති-ත්‍රස්ත නීති සම්පාදනය, රැඩිකල්කරණය සහ ප්‍රචණ්ඩ අන්තවාදය මැඬපැවැත්වීම, ත්‍රස්තවාදීන්ගේ විදෙස් ගමන් බිමන්වලට එරෙහිව ඵලදායී දේශසීමා කළමනාකරණය මෙන්ම රැඩිකල් මතවාද හා ප්‍රචණ්ඩකාරී අන්තවාදය ප්‍රචාරය කර හැරීමෙහිලා අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය මඟින් එල්ල කරනු ලබන තර්ජනය මෙහි දී සාකච්ඡාවට බඳුන් කෙරුණු විෂයයන් අතරට ඇතුළත් විය.

පාස්කු ඉරුදින ප්‍රහාරවලින් ඉක්බිතිව, අප්‍රේල් 24 වැනි දින, ත්‍රස්තවාදය මඟින් එල්ල වන තර්ජනවලට මුහුණ දීමේ දී ශ්‍රී ලංකාවට සහය ලබා දෙන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙර්රෙස් මහතාගෙන් කරන ලද ඉල්ලීමකින් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ආරාධනය පරිදි සහකාර මහ ලේකම් කොනින්ස් මහත්මිය ශ්‍රී ලංකා සංචාරයේ නියැළිණි.

සහකාර මහ ලේකම්වරිය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් බැහැදුටු අතර වෙනත් දේශපාලන හා සිවිල් සමාජ නායකයින් ද හමුවූවාය.

ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ හා විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ යන මහත්වරුන්ගේ සම සභාපතීත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැති සංවාදයක දී, මෙම ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක හමුදාව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග හා ඉදිරියේ දී ගනු ලබන පියවර පිළිබඳව පූර්ණ කරුණු ඉදිරිපත් කිරීමකින් අනතුරුව, ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩකාරී අන්තවාදය මැඬපැවැත්වීම සඳහා “සමස්ත රජයම” අන්තර්ගත ප්‍රවේශයක ඇති අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කරනු ලැබිණි. විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිය ක්‍රියාත්මක කිරීමේ හා බුද්ධි සේවා නියෝජිතායතන, නීතිපති දෙපාර්තමේන්තුව, රේගුව, ආගමන  හා විගමන දෙපාර්තමේන්තුව මෙන්ම මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යන ආයතනවල නිලධාරීහු මෙම රැස්වීමට සහභාගී වූහ.

නොබෝදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් අනතුරුව, අංක 1373 (2001) දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මතයේ ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීමේ හා වත්කම් අත්හිටුවීමේ අංශ බලාත්මක කරමින්, ශ්‍රී ලංකාවේ දේශීය නීතිකරණය යටතේ, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ වූ – ජාතික තවුහිද් ජමාද් (NTJ), ජමාතේ මිල්ලතු ඊබ්‍රාහීම්(JMI) හා විල්ලයාත් අස් සෙයිලානි (WAS) යන සංවිධාන තුන ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කිරීම සඳහා විදේශ කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශ එක්ව කටයුතු කළේ ය. විශේෂයෙන්ම, විදේශීය ත්‍රස්ත සටන්කාමී ප්‍රවාහයේ පැන නැඟීම සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදය මැඬපැවැත්වීම මෙන්ම, දේශ සීමා ආරක්ෂාවේ වැදගත්කම පිළිබඳව වූ  අංක 2178 (2014) හා 2396 (2017) දරන යෝජනා සම්මත ඇතුළු අදාළ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත යටතේ ත්‍රස්තවාදය මැඬපැවැත්වීමේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල වීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ගැනීමට අවශ්‍ය පියවර පිළිබඳවද සහකාර මහලේකම්වරියගේ සංචාරයේ දී සොයා බැලිණි.

මෙම සංචාරය අවසානයේදී පැවැති සමාලෝචන රැස්වීමකදී, විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා වෙත සහකාර මහලේකම්වරිය තක්සේරුවක් ලබා දුන් අතර ශ්‍රී ලංකා රජය සමඟ අනාගත සහයෝගීතාව පවත්වාගන්නා ආකාරය සාකච්ඡාවට බඳුන් කළාය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරිකා හැනා සිංගර් මහත්මිය සහ ප්‍රති-ත්‍රස්තවාදය පිළිබඳ විධායක අධ්‍යක්ෂ කාර්යාලයේ මෙන්ම ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නිලධාරීහූ සහකාර මහලේකම්වරිය සමඟ රැස්වීමට සහභාගී වූහ. මෙම විධායක අධ්‍යක්ෂ කාර්යාලය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් සිටින නිව්යෝර්ක් නුවර පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය මෙම සංචාරයේ පසුවිපරම් කටයුතුවල නියැලෙනු ඇත.

ප්‍රති-ත්‍රස්තවාදය පිළිබඳ විධායක අධ්‍යක්ෂ කාර්යාලය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රති-ත්‍රස්ත කමිටුවට (CTC) සහය දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින්  විශේෂ දේශපාලන මෙහෙයුම් කාර්යාලයක් ලෙස ස්ථාපනය කරනු ලැබිණි. ප්‍රති-ත්‍රස්ත කමිටුවේ ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේ, සාමාජික රටවලට විශේෂඥ තක්සේරු ලබාදීමේ හා රටවල් සඳහා ත්‍රස්තවාදය මැඬපැවැත්වීමට තාක්ෂණික සහය ලබාදීමේ වගකීම මෙම කාර්යාලයට පැවරී ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 

2019 ජුනි 12 වැනිදා    

Photo 2

Print Friendly, PDF & Email
Please follow and like us:

Close