ශ්‍රී ලංකාව සහ ඕමානය ද්විත්ව බදුකරණය වැලැක්වීම සහ මුල්‍ය මඟහැරීම නිවාරණය පිළිබඳ ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ ඕමානය ද්විත්ව බදුකරණය වැලැක්වීම සහ මුල්‍ය මඟහැරීම නිවාරණය පිළිබඳ ගිවිසුමකට අත්සන් තබයි

Image-01 (1)

2018 අගෝස්තු 15 වැනි දින කොළඹදීජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමෙන් පැවැති ශ්‍රී ලංකා-ඕමාන ද්විපාර්ශ්වික උපදේශනවල දෙවැනි රැස්වීම අතරතුරදී ශ්‍රී ලංකා රජය සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ද්විත්ව බදුකරණය වැලැක්වීම සහ මුල්‍ය මඟහැරීම නිවාරණය පිළිබඳ ගිවිසුමකට දෙරටේ නියෝජිත පිරිස්වල නායකයන් විසින්අත්සන් තබන ලදී.

මෙම ද්විපාර්ශ්වික උපදේශන රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා විසින් දරන ලද අතර ඕමාන නියෝජිත පිරිසේ නායකත්වය එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය තාන්ත්‍රිකත්වය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් මහ්මුද් අවාද් අල් හසන් මහතා විසින් දරන ලදී. විදේශ කටයුතු අමාත්‍යාංශ දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ මෙන්ම ශ්‍රී ලංකාවේ රේඛීය අමාත්‍යාංශ හා ආයතන රැසක නියෝජිතයෝද සාකච්ඡාවලට සහභාගී වූහ.

දෙරට අතර ඇති දේශපාලන හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කොට ඉදිරියට ගෙනයෑමට තමන් තුළ ඇති කැපවීම මෙම රැස්වීම අතරතුරදී ශ්‍රී ලංකාව සහ ඕමානය යළි තහවුරු කළේය. 2014 වසරේදී මස්කට් නුවර පැවැති ශ්‍රී ලංකා-ඕමාන ද්විපාර්ශ්වික උපදේශනවල පළමු රැස්වීමේදී එළැඹි තීරණ සම්බන්ධයෙන් ගනු ලැබූ පසුවිපරම් ක්‍රියාමාර්ග සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ඇති කරගැනීමේ නව මං මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. මැදපෙරදිග කලාපයට ප්‍රවේශ දොරටුවක් ලෙස ඕමානයද, ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවද අතර ව්‍යාපාරික, වෙළෙඳ හා නාවික සබඳතා පිහිටුවීම උදෙසා කටයුතු කරන්නට දෙපාර්ශ්වය එකඟ විය.

වෙළෙඳාම; සංචාරක කටයුතු; ආගමන හා විගමන; කම්කරු සහ මිනිස්බල පුහුණුව; ආරක්ෂාව; කෘෂිකර්මය; උසස් අධ්‍යාපනය; සහ සංස්කෘතිය යන ක්ෂේත්‍රවල අන්‍යෙන්‍ය සහයෝගීතාව දැක්විය හැකි පුළුල් පරාසයකට අයත් කරුණු සම්බන්ධයෙන් සමාලෝචනය කොට සාකච්ඡා කැරිණි. ඊට අමතරව, ධීවර කටයුතු, ක්‍රීඩාව, ඛනිජ තෙල් සහ ගෑස් අනාගතයේදී සහයෝගීතාව දැක්විය හැකි නව ක්ෂේත්‍ර වශයෙන් හඳුනා ගැනිණි. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අතර ශ්‍රී ලංකා-ඕමාන ව්‍යාපාරික කවුන්සිලයක් ස්ථාපනය කිරීම සඳහා සහය වීමටද එකඟතාව පළ කෙරිණි.

ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යොන්‍ය සුරක්ෂිතබව පිළිබඳ ගිවිසුමකට හැකි ඉක්මනින් එළැඹීමටද, ශ්‍රී ලංකාවේ සිට ඕමානය වෙත කුසලතා පූර්ණ සේවකයන් යැවීම පහසු කිරීම සඳහා කුසලතා සංවර්ධනය හා අන්‍යොන්‍ය වශයෙන් සුදුසුකම් පිළිගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් සලකා බැලීමටද දෙපාර්ශ්වය එකඟ විය.

පොදු අභිලාෂයන් ඉදිරියට ගෙනයෑම සඳහා කලාපීය සහ බහුපාර්ශ්වීය සංසදවලදී අඛණ්ඩව එක්ව කටයුතු කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින් අවධාරණය කරන ලදී.

ඉහළ පෙළේ සංචාර මඟින් ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා තහවුරු කිරීම පිළිබඳවද රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.

ඕමාන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළ කතානායක කරු ජයසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන්ද බැහැදුටුවේය.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

 

 2018 අගෝස්තු 16 වැනිදා

 

Image-02
Image-03
Image-04
Print Friendly, PDF & Email
Please follow and like us:

Close