ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා විදේශ කටයුතු හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා විදේශ කටයුතු හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

Image-01 (2)

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය ඔස්සේ ලබා දෙන සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් විදේශ කටයුතු හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුමක් 2018 අගෝස්තු 16 වැනි දින අත්සන් තැබිණි.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති දිසාපතිවරුන්ගේ සමුළුව අතරතුරදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර යන මහත්වරු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපිටදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

මුලින්ම, නියමු ව්‍යාපෘතියක් වශයෙන් ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 19 ට ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය ව්‍යාප්ත කිරීමට මෙම අවබෝධතා ගිවිසුමෙන් ඉඩ සැලසේ. ඉන් අනතුරුව දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 වෙතම මෙම පහසුකම ව්‍යාප්ත කිරීමට අපේක්ෂිතය.

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය මඟින් සම්බන්ධ කිරීමෙන් මහජනතාවට කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයට නොපැමිණ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිය ලිපිලේඛන සත්‍යාපන අවශ්‍යතා ඉටුකර ගැනීමට ඉඩ සැලසෙනු ඇත.  මෙම අවශ්‍යතා ඉටුකර ගැනීමට දැනට යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය වෙත යන උතුරු පළාතේ මහජනතාවටද එම කාර්යාලයට නොයා තමන්ට ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිය ලිපිලේඛන සත්‍යාපනය කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත. මෙම නියමු ව්‍යාපෘතිය සඳහා කැනේඩියානු රජය ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය හරහා රුපියල් මිලියන 6.8 ක් වටිනා උපකරණ ප්‍රදානය කොට තිබේ.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය අමතා කතා කළ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපකරණ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කැනේඩියානු රජයට සිය ස්තූතිය පළ කළ අතර සෑම දිස්ත්‍රික්කයකටම අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සහය ලබාදෙන ලෙස සියලු දිසාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් ක්‍රියාත්මක වීමෙන් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ප්‍රේෂණය කරන සංක්‍රමණික සේවක ප්‍රජාවට ඵලදායී සේවයක් ඉටුවනු ඇතැයි උත්සවය ඇමතූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා පැවසීය.

මෙම ක්‍රමවේදය වනාහී නවමු, විමධ්‍යගත හා වඩාත් දියුණු කොන්සියුලර් සේවාවක් ඩිජිටල්කරණය ඔස්සේ ජනතාව වෙත සැලසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය දරන වෑයමෙහි තවත් එක් පියවරකි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
 2018 අගෝස්තු 17 වැනිදා

 

Image-02 (1)
Image-03 (1)
Print Friendly, PDF & Email
Please follow and like us:

Close