ශ්‍රී ලංකා – තායිලන්ත ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන ක්‍රියාදාමයේ සිව්වැනි රැස්වීම, 2018 පෙබරවාරි 27 – 28

ශ්‍රී ලංකා – තායිලන්ත ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන ක්‍රියාදාමයේ සිව්වැනි රැස්වීම, 2018 පෙබරවාරි 27 – 28

DSC_4561

ශ්‍රී ලංකා – තායිලන්ත ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන ක්‍රියාදාමයේ සිව්වැනි රැස්වීම 2018 පෙබරවාරි 27 – 28 යන දිනවලදී ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමෙන් කොළඹදී පැවැත්විණි.

මෙම රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසෙහි නායකත්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා විසින් දරනු ලැබූ අතර, තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් බුසායා මතෙලින් මහත්මිය විසින් තායි නියෝජිත පිරිසෙහි නායකත්වය දරන ලදී.

ද්විපාර්ශ්වික දේශපාලන හා ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට හා වැඩිදියුණු කිරීමට කැපවෙන බවට ශ්‍රී ලංකාව හා තායිලන්තය මෙහිදී යළි ප්‍රතිඥා දුන්නේය.

දෙරට අන්‍යොන්‍ය වශයෙන් සහයෝගය දක්වන ක්ෂේත්‍රවල පුළුල් පරාසයකට අයත් කරුණු මෙන්ම කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විද්‍යාව හා තාක්ෂණය, වෙළෙඳාම හා ආයෝජනය, සංස්කෘතිය හා සංචාරක කර්මාන්තය යනාදී ක්ෂේත්‍රවල දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහන්ද මෙහිදී සමාලෝචනයට හා සාකච්ඡාවට බඳුන් විය.

තායිලන්ත රාජකීය වැසි වැස්සවීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවේ භාවිතයට ගැනීමට ඇති හැකියාව පිළිබඳවත්, ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තාක්ෂණය හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ සිව්වැනි ඒකාබද්ධ කොමිසම හා තුන්වැනි ඒකාබද්ධ කෘෂිකාර්මික ක්‍රියාකාරී කණ්ඩායම කැඳවීම පිළිබඳවත් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.

පොදු වුවමනාවන් හා අන්‍යොන්‍ය වශයෙන් වැදගත්වන කරුණු ප්‍රගමනයෙහිලා කලාපීය හා බහුපාර්ශ්වීය කටයුතුවලදී ඉදිරියටත් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වය අවධාරණය කළේය.

2018 පෙබරවාරි 28 වැනි දින උදෑසන තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් බුසායා මතෙලින් මහත්මිය විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාද බැහැ දුටුවාය.

2012 මැයි මස 30 වැනි දින තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් මගින් දේශපාලන උපදේශනය හරහා දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කිරීමට මං සැලසිණි. ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ප්‍රථම දේශපාලන උපදේශන රැස්වීම 2012 අගෝස්තු මස කොළඹදී පැවති අතර, එහි දෙවැනි හා තෙවැනි සැසි 2012 දෙසැම්බර් මාසයේ හා 2014 ජුනි මාසයේ තායිලන්තයේදී පැවැත්විණි. විදේශ අමාත්‍යාංශ දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ අනෙකුත් රේඛීය නියෝජිතායන මෙම රැස්වීමට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2018 පෙබරවාරි 28 වැනිදා

 

DSC_4598

DSC_4615

DSC_4599

DSC_4581

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close