ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡා කොළඹදී පැවැත්වෙයි

ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡා කොළඹදී පැවැත්වෙයි

Korea 01

 

ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර විදේශ කටයුතු අමාත්‍යාංශ මට්ටමේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවල දෙවැනි වටය 2018 ජුනි 07 වැනි දින කොළඹදී පැවැත්විණි.

මෙහිදී, ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා විසින් දරන ලද අතර කොරියානු නියෝජිත පිරිසේ නායකත්වය දරනු ලැබුයේ කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පළමු නියෝජ්‍ය අමාත්‍ය ලිම් සන්ග්-නම් මහතා විසිනි. දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රේඛීය නියෝජිතායතන ගණනාවක්ද මෙම උපදේශන සාකච්ඡා සඳහා සහභාගී වූහ.

2017 නොවැම්බර් 28–30 යන දිනවල කොරියානු ජනරජයට යෙදුණු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා‍ගේ රාජ්‍ය සංචාරයට අනුගාමීව මෙම දේශපාලන උපදේශන සාකච්ඡා පැවැත්විණි. එබැවින් මෙම සාකච්ඡාවල මූලික අරමුණ වූයේ දෙරට අතර පවතින සමීප මිත්‍ර සබඳතා ප්‍රකට කරමින් එකී රාජ්‍ය සංචාරයේ ප්‍රතිඵල මත පිහිටා තවදුරටත් ප්‍රගතිය අත්පත් කර ගැනීමයි. දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති ගණනාවක් හා වෙළෙඳාම, ආයෝජනය, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විද්‍යාව හා තාක්ෂණය, සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය යන අංශවලට අදාළ සහයෝගිතා වැඩසටහන් පිළිබඳව මෙම සාකච්ඡා අතරතුරදී සමාලෝචනය කෙරිණි. හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය, ගම්පහ තාක්ෂණ විද්‍යාලය ස්ථාපිත කිරීම හා කොරියා ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල යටතේ ක්‍රියාත්මක වන ජල සම්පාදන හා වෙනත් ව්‍යාපෘති රැසක් මීට ඇතුළත් විය.

ද්විපාර්ශ්වික දේශපාලන හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් තහවුරු කරගැනීම හා දියුණු කිරීම සඳහා වන කැපවීම යළි යළිත් අවධාරණය කරමින්, දෙරට අතර බහුවිධ සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණෙන් ඉ-පාලන සහ රෙදි නිෂ්පාදන කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර සඳහා ලබාදෙන සහයෙහි සිදුකළ හැකි නව්‍යතා පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කළේය.

සෞඛ්‍යය, පරිසරය, තිරසර සංවර්ධනය, දේශගුණ විපර්යාස, මානව හිමිකම් සහ නීති මත පදනම් වූ ජාත්‍යන්තර ක්‍රමය ආරක්ෂාකොට ප්‍රගමනය කිරීම ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් බහුපාර්ශ්වීය සංසදවලදී සම්බන්ධීකරණය කිරීමේ වැදගත්කම හඳුනා ගනිමින්, එකිනෙකා සමඟ සමීපව කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟ විය.

සමීප හා නිරන්තර අන්තර් ක්‍රියාවල වැදගත්කම හඳුනාගනිමින්, 2017 වසරේ නොවැම්බර් මස අත්සන් තබන ලද ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර ආර්ථික සහයෝගීතා ගිවිසුමේ රාමුව තුළ, ශ්‍රී ලංකා - කොරියානු ජනරජ ඒකාබද්ධ කොමිසමේ පළමු සැසිවාරය 2018 ජූනි මස 28 වැනි දින කොළඹදී පැවැත්වීමට මෙහිදී තීරණය කෙරිණි.

ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර දේශපාලන උපදේශන සාකච්ඡාවල පළමුවැනි වටය 2013 වසරේ සෝල් නුවරදී පැවැත්විණි. මෙම සාකච්ඡාවල තෙවැනි වටය සෝල් නුවරදී පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟතාව පළ කළේය.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 ජුනි මස 08 වැනිදා

Korea 2

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close