ශ්‍රී ලංකාව අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් සුරැකීම පිළිබඳ යුනෙස්කෝ අන්තර් රාජ්‍ය කමිටුවට තේරී පත්විය

ශ්‍රී ලංකාව අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් සුරැකීම පිළිබඳ යුනෙස්කෝ අන්තර් රාජ්‍ය කමිටුවට තේරී පත්විය

යුනෙස්කෝ සංවිධානයේ 07 වැනි මහා සම්මේලනයේ  පැරිස් නුවර පැවති ඡන්ද විමසීමේ දී,  ශ්‍රී ලංකාව අද දින, එනම් 2018 ජුනි මස 06 වැනි දින 2018 – 2022 කාල පරිච්ඡේදය සඳහා අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් සුරැකීම පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුවේ ආසියා - ශාන්තිකර කලාපයට හිමි ආසන හතරින් එකක් සඳහා තේරී පත්විය.

ආසියා - ශාන්තිකර කණ්ඩායමෙන් රටවල් 08ක්, එනම් බංගලාදේශය, චීනය, ජපානය, කසකස්තානය, තායිලන්තය, මැලේසියාව, පලාව් හා ශ්‍රි ලංකාව මේ සඳහා තරග කළහ. අද දින පෙරවරුවේ පලාව් සිය අපේක්ෂකත්වය ඉල්ලා අස්කරගැනීමත් සමඟ, රටවල් 07ක් ඡන්දය සඳහා ඉදිරිපත් වූහ. ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කරන ලදුව පත්කරගන්නා ලද රටවල් වූයේ, චීනය, ශ්‍රී ලංකාව, ජපානය හා කසකස්තානයයි. මෙම රටවල් පිළිවෙලින් ඡන්ද 123, 122, 107 හා 98 බැගින් හිමිකර ගත්හ.

සංස්කෘතික විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රතිපත්තිවල පරිණාමය පිළිබඳ සන්ධිස්ථානයක් බවට පත්වූ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳ සම්මුතිය, 2003 වසරේ පැවති යුනෙස්කෝ සංවිධානයේ මහා සම්මේලනයේ 32 වැනි සැසිවාරයේ දී සම්මත කරගන්නා ලද්දකි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල ප්‍රජාවන් අතර පවතින වාචික සම්ප්‍රදායන්, ප්‍රසාංගික කලාවන්, සමාජ භාවිතයන්, චාරිත්‍ර, උත්සව, ස්වභාව ධර්මයට අදාල දැනුම සහ පුරුදු සහ සම්ප්‍රදායික ශිල්ප ක්‍රම නිපදවීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා වැනි අපගේ මුතුන් මිත්තන්ගෙන් උරුම වූ සම්ප්‍රදායන් සහ සජීවී ප්‍රකාශනයන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනිමින්, 2008 වසරේදී ශ්‍රී ලංකාව මෙම සම්මුතියේ පාර්ශවකරුවෙක් බවට පත්විය. සම්මුතියේ පාර්ශවකරුවෙක් බවට පත්වීමෙන් අනතුරුව කමිටුවේ ආසනයක් සඳහා ශ්‍රී ලංකාව තරග කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන්, වර්ධනය වන ගෝලීයකරණය හමුවේ සංස්කෘතික විවිධත්වය පවත්වාගෙන යාම කෙරෙහි බලපාන වැදගත් සාධකයක් වන බවත්, විවිධ ජාතීන්ගේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් හඳුනාගැනීම අන්තර් සංස්කෘතික සංවාදයක් ගොඩනැංවීම සඳහා උපකාරී වන අතරම වෙනත් ජාතීන්ගේ ජීවන ක්‍රම පිළිබඳ අන්‍යොන්‍ය ගෞරවය ඇතිකීරීම සඳහා දිරිගැන්වීමක් වන බව ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත. මෙම අවස්ථාවේ කමිටුවට තේරී පත්වීම සඳහා වන තීරණයට රට තුළ ක්‍රියාත්මක වන සංහිඳියා ක්‍රියාවලිය සඳහා රජය තුළ වන කැපවීම හේතුවිය. මේ හරහා, එකිනෙකාගේ ජීවන ක්‍රම, පුරුදු, චාරිත්‍ර හා සම්ප්‍රදායන් අවබෝධ කරගනිමින් ඊට ගරු කිරීමට දිරි ගැන්වීමක් ඇති කරමින්, රටෙහි වෙසෙන සෑම ජන වර්ගයකම පැරණි සම්ප්‍රදායන් සංරක්ෂණය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව උත්සාහ ගනියි.

මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට හේතුවූ සම්මුතියේ සියලු පාර්ශවකරුවන්ගෙන් ලද නොමද සහය ශ්‍රී ලංකාව ඉතා අගය කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2018 ජුනි මස 06 වැනිදා

 

sinpdf
Print Friendly, PDF & Email
Please follow and like us:

Close