ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තිරසර සංවර්ධනය උදෙසා වූ ශ්‍රී ලංකාවේ නීල - හරිත සංවර්ධන උපායමාර්ග පිළිබඳව කරුණු දක්වයි

ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තිරසර සංවර්ධනය උදෙසා වූ ශ්‍රී ලංකාවේ නීල – හරිත සංවර්ධන උපායමාර්ග පිළිබඳව කරුණු දක්වයි

CHOGM

ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තිරසර සංවර්ධනය උදෙසා වූ  ශ්‍රී ලංකාවේ නීල - හරිත සංවර්ධන උපායමාර්ග පිළිබඳව කරුණු දක්වයි

2018 අප්‍රේල් මස 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට හා එම සමුළුව හා සබැඳි රැස්වීම් හා උත්සව අවස්ථාවලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගී විය. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන්ගේ නිල සමුළුවට, විදේශ අමාත්‍යවරුන්ගේ පූර්ව රැස්වීම, රාජ්‍ය නායකයන් අතර නිල රැස්වීම සහ රාජ්‍ය නායකයන්ගේ හුදෙකලා රැස්වීම අයත් වේ. ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ද එක්විය.

රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, තුලනාත්මක මෙන්ම පරිපූර්ණ හරිත වර්ධන මඟක් අනුගමනය කිරීම මඟින් තිරසර සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු උපායමාර්ග පිළිබඳව කරුණු දැක්වීය. "පොදු අනාගතයක් කරා"  යන මැයෙන් වූ සමුළුවේ නිල ප්‍රකාශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඇතුළු රාජ්‍ය නායකයන් විසින් සම්මත කරගන්නා ලදී. මේ ප්‍රකාශනය මගින් පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල්, සංවිධාන ප්‍රඥප්තියේ ඇතුළත් මූලික දේශපාලන හර පද්ධතීන් වෙනුවෙන් සිය නොසැලෙන කැපවීම සහතික කළ අතර,     ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ අන්තර්ගතවීම, ප්‍රජාතාන්ත්‍රික ආයතන ශක්තිමත් කිරීම සහ සාමය ප්‍රවර්ධනය කිරීම, බහුපාර්ශ්වික වෙළෙඳ පද්ධති ශක්තිමත් කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ අන්තර් - පොදු රාජ්‍ය මණ්ඩල වෙළෙඳ කටයුතු වැඩි දියුණු කිරීම, පූර්ණ සහ තිරසර ආර්ථික වර්ධනයක් ඇති කිරීම, අවදානම්සහිත බව සහ කාලගුණික විපර්යාස සාකච්ඡාවට බඳුන් කිරීම, සාගර පිළිබඳ තිරසර සංවර්ධනය, බල ශක්තිය සහ ස්වභාවික සම්පත් තිරසර අයුරින් භාවිත කිරීම, සෞඛ්‍යය, අධ්‍යාපනය, සයිබර් ආරක්ෂාව සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදය, මිනිස් ජාවාරම සහ ළමා සූරාකෑම, බරපතල සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ  වැළැක්වීම යන වැදගත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිඥා ලබා දුන්හ.

කාලගුණික විපර්යාස, සමුද්‍ර දූෂණය සහ සීමාව ඉක්මවා මසුන් ඇල්ලීම මඟින් වන බලපෑම්වලින්  සාගරය ආරක්ෂා කිරීම සඳහා සෘජු, සමායෝජනය වූ ප්‍රයත්නයක් වෙනුවෙන් එකඟවෙමින් පොදු රාජ්‍ය මණ්ඩල නීල ප්‍රඥප්තිය රාජ්‍ය නායකයන් විසින් සම්මත කරගන්නා ලදී. මෙම සන්දර්භය තුළ කඩොලාන සංරක්ෂණය කිරීමේ සහයෝගීතා වැඩපිළිවෙල සඳහා මූලිකත්වය ගැනීමට ශ්‍රී ලංකාව එකඟ වූ අතර, නීල ආර්ථික වර්ධනය, කොරල්පර ප්‍රතිසංස්කරණය, මිනිස් ක්‍රියාකාරකම් හරහා සිදුවන කාබන්ඩයොක්සයිඩ් විමෝචනයෙන් සාගර ආම්ලිකකරණයට එරෙහිව කටයුතු කිරීම යනාදී වශයෙන් වූ සාගරය හා අදාළවන අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන ක්‍රියාකිරීමට වෙනත් රටවල් ගණනාවක් එකඟ වූහ. එක්සත් රාජධානිය සහ වනවාටු රාජ්‍යයේ මූලිකත්වයෙන් සාගර ප්ලාස්ටික්වලින් තොර කලාප බවට පත්කිරීම සඳහා ක්‍රියාත්මක වන පිරිසිදු සාගර සන්ධානය වෙත සිය සහයෝගය ලබාදීමටද ශ්‍රී ලංකාව එකඟ විය.

සමුළුව අතරතුර රාජ්‍ය නායකයන් විසින් පොදු රාජ්‍ය මණ්ඩල සයිබර් ප්‍රකාශනය නමින් තවත් වැදගත් ලියැවිල්ලක් සම්මත කරගනු ලැබීය. ඉන් පොදු රාජ්‍ය මණ්ඩලයේ පුරුෂාර්ථ, මානව හිමිකම් හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන විවෘත, ප්‍රජාතාන්ත්‍රික, සාමකාමී සහ ආරක්ෂිත අන්තර්ජාලයක් සකස් කිරීම සඳහා වන පොදු කැපවීම පිළිබිඹු කෙරෙයි. ජාතික සයිබර් ආරක්ෂක උපායමාර්ග වැඩිදියුණු කිරීමේ හෝ ශක්තිමත් කිරීමේ හා කාර්ය සැලසුම් සකස් කිරීමේ අරමුණින් පොදු රාජ්‍ය මණ්ඩලය හරහා සහයෝගීතාව වර්ධනය කිරීමට සහ 2020 වසර වන විට ජාතික මට්ටමින් සයිබර් අවදානම් ඇගයීම් භාරගැනීමට ඉහත ප්‍රකාශනය එකඟ වෙයි. ආයෝජන පුළුල් කිරීම හා අන්තර් - පොදු රාජ්‍ය මණ්ඩල වෙළෙඳ කටයුතු 2030 වසර වන විට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2 ක් දක්වා වර්ධනය කරගැනීමේ අරමුණින්, රාජ්‍ය නායකයෝ, වෙළෙඳ සහ ආයෝජන සඳහා වූ පොදු රාජ්‍ය මණ්ඩල සම්බන්ධන න්‍යාය පත්‍රය පිළිබඳ ප්‍රකාශනය ද සම්මත කරගත්හ. ශක්නුතා සංවර්ධනය සහ දෘඪ සහ මෘදු සම්බන්ධතාව කෙරෙහි බලපානු ලබන කාර්ය සැලසුමක් සංවර්ධනය කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ලේකම්වරයා බලාත්මක කිරීමද ඉහත ප්‍රකාශනයට ඇතුළත් කර තිබේ.

තිරසර සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීම: ව්‍යාපාර, සමාජ සහ රජයන් පෙළගැස්වීම යන මැයෙන් පැවති පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාර සංසදය අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, යහපත් ව්‍යාපාර ප්‍රතිපත්ති, සාමය සහ යහපාලනය සඳහා උත්ප්‍රේරකයක් වන බවත්, ඒ හරහා සමාජ වගකීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කෙරෙන බවත් අවධාරණය කළේය.

රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවති සිය විෂය පථයට අදාළ උත්සව අවස්ථා සහ සමුළු සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරු සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 40 දෙනෙකු සහභාගී වූ පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාර සංසදය මෙසේ පැවති රැස්වීම්වලින් එකක් වූ අතර ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ ආයෝජන අංශයන්හි සංවර්ධනය වීමේ ශක්‍යතාව පිළිබිඹු කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය වේදිකාවක් කර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ව්‍යවසායකයෝ පියවර ගත්හ. සංසදයේ කැපී පෙනෙන සිදුවීම වූයේ "නිර්මාණයෙහි දක්ෂ දිවයින"නම් සන්නාමය එළිදැක්වීමයි. එය තොරතුරු තාක්ෂණ(IT) - ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ(BPO) යන අංශයේ නිර්මාණශීලීත්වය සහ නිපුණතා කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරිණි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පොදු රාජ්‍ය මණ්ඩල කුඩා රාජ්‍ය වෙළෙඳ මූල්‍ය පහසුකම පිළිබඳ සම්මුතියට අත්සන් තැබීමෙන් අනතුරුව කුඩා රාජ්‍ය වෙළෙඳ මූල්‍ය පහසුකම පිළිබඳ හවුල පිහිටුවීම සඳහා ඉන්දියාව, මුරුසිය හා මෝල්ටාව සමඟ ශ්‍රී ලංකාවද එක්විය.

2020 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ සත්කාරකත්වය රුවන්ඩාව විසින් දරනු ලබයි.

පොදු රාජ්‍ය මණ්ඩල නිල ප්‍රකාශනය හා සම්මත කරගත් වෙනත් ලියැවිලිවලට අදාළ සියලු තොරතුරු http://thecommonwealth.org/newsroom යන අන්තර්ජාල සබැඳිය ඔස්සේ ලබාගත හැකිය.

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2018 අප්‍රේල් මස  25 වැනිදා

CHOGM-1

CHOGM3

CHOGM4

CHOGM5

 

CW Digital Health Centre

Print Friendly, PDF & Email
Please follow and like us:

Close