Ministry News
ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් ඉන්දීය උප ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය
ප්‍රකාශිත දිනය
Vice President of India visits Sri Lanka to strengthen bilateral ties

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී.රාධක්‍රිෂ්ණන් 2026 අප්‍රේල් 19 වැනි දින සිට 20 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. 2024 දෙසැම්බර් මාසයේදී සිදුවූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය, 2025 අප්‍රේල් මාසයේදී සිදුවූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය, 2025 ඔක්තෝබර් මාසයේදී සිදුවූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ඉන්දීය සංචාරය සහ මෑතකදී, එනම් 2026 පෙබරවාරි මාසයේදී නවදිල්ලි නුවර පැවති කෘත්‍රිම බුද්ධි බලපෑම් සමුළුවට ජනාධිපති දිසානායක සහභාගී වීම ඇතුළුව, දෙරට අතර ඉහළ මට්ටමේ සබඳතා තීව්‍රව පැවැති පසුබිමක මෙම සංචාරය සිදු විය.

සංචාරය අතරතුරදී, උප ජනාධිපති රාධක්‍රිෂ්ණන්, ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී සංවර්ධන සහයෝගීතාව, ආර්ථික සහයෝගීතාව, දේශපාලන සබඳතා, බලශක්ති සහයෝගීතාව සහ ධීවර ගැටලුවට තිරසාර විසඳුමකට එළැඹීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීය. දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සහන කටයුතු, යලි යථා තත්ත්වයට පත් වීම සහ නැවත ගොඩනැගීමේ ප්‍රයත්න වෙනුවෙන්  ඉන්දියාව ලබා දුන් කාලෝචිත සහාය, ජනාධිපති දිසානායක අගය කළේය.

සංචාරයේ නිරත වූ ඉන්දීය උප ජනාධිපතිවරයාට ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර එහිදී දෙරට අතර හවුල්කාරිත්වයේ ඉදිරි ප්‍රගතිය පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.

ඉන්දීය උප ජනාධිපතිවරයා කොළඹ පැවැති උත්සව කිහිපයකට ද සහභාගී වූ අතර එහිදී ඔහු දේශපාලන හා ප්‍රජා නායකයින් සහ ඉන්දීය ඩයස්පෝරාව සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වූ අතර කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සහ කතිරේසන් කෝවිලේ සංචාරයක නිරත විය. නුවරඑළියේදී, උප ජනාධිපති රාධක්‍රිෂ්ණන් මහතා ඉන්දීය ආධාර යටතේ ඉදිකරන ලද නිවාසලාභීන් හමුවූ අතර සීතා අම්මන් කෝවිල වෙතද සංචාරයක නිරත විය.

දිට්වා පසු-ප්‍රතිසංස්කරණ පැකේජයක් ක්‍රියාත්මක කිරීම ඇතුළුව දෙරට අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම් ගණනාවක් මෙම සංචාරයේදී අත්සන් කෙරිණි. 2023 දී අගමැති නරේන්ද්‍ර මෝදි විසින් දියත් කරන ලද මුලපිරීමක් වන International Big Cat Alliance (IBCA) සන්ධානයට ශ්‍රී ලංකාව නිල වශයෙන් එක් විය.

ධීවර, සත්ව පාලන සහ කිරි නිෂ්පාදන අමාත්‍යාංශයේ සහ පංචායති රාජ් අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය එස්.පී.සිං බාගෙල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය කේ.ලක්ෂ්මන් සහ ආචාර්ය මේධා විශ්‍රම් කුල්කර්නි ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිප දෙනෙක්, උප ජනාධිපති රාධක්‍රිෂ්ණන් සමඟ මෙම සංචාරයට එක් වූහ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රැස්වීම්වලට සහභාගී වූහ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01

2026 අප්‍රේල් 22 වැනි දින

Vice President of India visits Sri Lanka to strengthen bilateral tiesVice President of India visits Sri Lanka to strengthen bilateral tiesVice President of India visits Sri Lanka to strengthen bilateral tiesVice President of India visits Sri Lanka to strengthen bilateral tiesVice President of India visits Sri Lanka to strengthen bilateral ties
Show as Media Release on Homepage