එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආසියානු සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ කන්නි විග්නරාජා, ශ්‍රී ලංකාවේ සිය නිල සංචාරය අතරතුරදී, 2026 අගෝස්තු 03 වැනි සඳුදා දින, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමුවිය.
රැස්වීමේදී, සහකාර මහලේකම් විග්නරාජා, රජය විසින් මෙහෙයවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශංසා කළ අතර, එමඟින් රටේ සංවර්ධන දැක්ම පිළිබඳ ධනාත්මක ප්‍රතිඵලයක් සහ ගෝලීය මතවාදයක් නිර්මාණය වී ඇති බව සඳහන් කළාය. එසේම, එය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට ඉවහල් වන තීරණාත්මක සාධකයක් බව ඇය පැවසුවාය. ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2028-2032 කාල සීමාව සඳහා ඉදිරියේදී ක්‍රියාත්මකවීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ දේශීය සංවර්ධන වැඩසටහන ඇතුළුව, රටේ සමාජ-ආර්ථික දියුණුවට තවදුරටත් සහාය වීමට ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධන හවුල්කරුවා ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනසූදානම් වන බවය.
රජයේ ඩිජිටල්කරණ ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය, ශ්‍රී ලංකා ශ්‍රම බලකායේ කුසලතා සහ ශක්‍යතා සංවර්ධනය, දේශගුණික ණය ඇතුළු දේශගුණික මූල්‍යකරණය, හරිත සහ නීල බැඳුම්කර සහ නව්‍ය මූල්‍යකරණ විසඳුම්, සෞඛ්‍ය මෙන්ම සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන දක්වන සහයෝගය පිළිබඳව ද මෙම රැස්වීමේදී අවධානය යොමු විය. ආසියානු සහ පැසිෆික් කලාපීය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂවරිය ලෙස සහකාර මහලේකම් විග්නරාජා විසින් ලබා දුන් සහයෝගය වෙනුවෙන් විදේශ අමාත්‍ය හේරත් සිය කෘතඥතාව පළ කළේය. විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද රැස්වීමට සහභාගී වූහ.
සහකාර මහලේකම් විග්නර්ජා සිය නිල සංචාරය අතරතුරදී, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ද හමුවූ අතර, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් සහ පාර්ශ්වකරුවන් මෙන්ම බහුපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වසර 55 කට අධික කාලයක් ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස කටයුතු කර ඇත. තිරසාර ආර්ථික සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, දේශගුණික ක්‍රියාමාර්ග, ආපදා වලට ඔරොත්තු දීමේ හැකියාව සහ සමාජ සහජීවනය සඳහා එමඟින් සහාය දක්වයි. මූල්‍ය අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සිය සහාය ලබා දී ඇති අතර, මෑතකදී දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට මූලික ආධාර ලබා දීම සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ මුලපිරීම් හරහා සහාය වී ඇත.
එක්සත් ජාතීන්ගේ පද්ධතියේ දැනට සිටින ඉහළම ශ්‍රේණියේ ශ්‍රී ලාංකික නිලධාරිනිය සහකාර මහලේකම් විග්නරාජා යි. අප්‍රිකාව, ආසියාව සහ පැසිෆික් කලාපය, ජිනීවා සහ නිව්යෝර්ක් හි ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු දරමින් වසර 30කට අධික කීර්තිමත් වෘත්තීය ජීවිතයක් ඇය සතුව ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2026 අගෝස්තු 05 වැනි දින




