
බංග්ලාදේශ ජනරජයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු හුමයුන් කොබීර් 2026 නොවැම්බර් 18 වැනි දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.
මෙම සංචාරය අතරතුර, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හුමයුන් කොබීර් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය. එහිදී, 2027 වර්ෂයේදී බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස බංග්ලාදේශ අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් විසින් ජනාධිපතිවරයා වෙත සිදු කරන ලද ආරාධනය ද රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.
රාජ්‍ය අමාත්‍ය කොබීර් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. එහිදී, දෙරටේ ආර්ථිකයන් තුළ තරුණ ප්‍රජාව සතු විභවයන් උපයෝගී කර ගැනීම සහ අධ්‍යාපන පද්ධතිවල වෙනස් වෙමින් පවතින අවශ්‍යතා පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කළහ. දෙරටේ රජයන්හි දැක්ම සහ අරමුණු අතර පවතින සමානකම් පිළිබඳව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සහ ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන් අගය කළේය. දරිද්‍රතාව තුරන් කිරීම, පරිසරය ආරක්ෂා කිරීම සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඉහළ නැංවීම අරමුණු කරගත් බංග්ලාදේශයේ ‘ගොවි කාඩ්පත’ (Farmers Card) සහ ‘පවුල් කාඩ්පත’ (Family Card) වැනි වැඩසටහන් සමඟ එම ශ්‍රී ලාංකික වැඩසටහන්වල සමානකම් පවතින බව ද ඔහු සඳහන් කළේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ පැවැති හමුවේදී, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, වෙළෙඳ හා ආයෝජන සබඳතා පුළුල් කිරීම සහ බහුපාර්ශ්වික සමුළුවලදී සමීප සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්විණි. වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්රයන්හි මෙතෙක් උපයෝගී කර නොගත් විභවයන් ප්‍රයෝජනයට ගැනීම සඳහා අවශ්‍ය ආයතනික රාමු කඩිනමින් ස්ථාපිත කිරීමට දෙරටේ අමාත්‍යවරු එකඟ වූහ. ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බලන ලෙසත්, 2027 ජනවාරි මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ (Sri Lanka EXPO 2027) ප්‍රදර්ශනයට සහභාගී වන ලෙසත් අමාත්‍ය විජිත හේරත් විසින් බංග්ලාදේශ ආයෝජකයන්ට ආරාධනා කළේය.
ආරක්ෂක, ධීවර, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව, අධ්‍යාපන සහ පුනර්ජනනීය බලශක්ති යන ප්‍රමුඛතා ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ. සංචාරකයන්ගේ පැමිණීම ඉහළ නැංවීම, ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම තුළින් සංචාරක ක්ෂේත්රයේ සහයෝගීතාව වර්ධනය කිරීමට අමාත්‍යවරු එකඟ වූහ. ශ්‍රී ලංකාවේ නොමිලේ සංචාරක වීසා ලබාදීමේ වැඩසටහනට බංග්ලාදේශය ද ඇතුළත් කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම, දෙරටේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර අන්තර් හුවමාරු සහ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවලදී අවධාරණය කෙරිණි.
මෙම හමුවෙන් අනතුරුව, ව්‍යුහගත ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වන ආයතනික රාමුව තවදුරටත් ශක්තිමත් කරමින්, පුළුල් සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකා–බංග්ලාදේශ ඒකාබද්ධ උපදේශන කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේ ගිවිසුමට අමාත්‍යවරුන් දෙපළ අත්සන් තැබූහ.
මෙම සාකච්ඡාවන් සඳහා රාජ්‍ය අමාත්‍ය කොබීර් මහතා සමඟ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් සලාහුදීන් මහමුද්, බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද එක්වූහ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජ, දකුණු ආසියානු සහ සාර්ක් අංශවල වැඩබලන අතිරේක ලේකම් වරුණි මුතුකුමාරණ ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම සාකච්ඡාවන්ට සහභාගී වූහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01
2026 නොවැම්බර් 19 වැනි දින











