Ministry News
ශ්‍රී ලංකාවෙන් නේපාලයට ඇමරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාර
ප්‍රකාශිත දිනය

 

ජීවිත හානි, අවතැන්වීම් සහ අතිමහත් විනාශයක් සිදු කළ ව්‍යසනකාරී ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් නේපාල ජනතාව වෙත ශ්‍රී ලංකාව දක්වන සහයෝගීතාව පෙන්නුම් කරමින්නේපාලයේ අඛණ්ඩ මානුෂීය සහ සහන කටයුතු සඳහා සහාය වීමේ ප්‍රයත්නයක් වශයෙන්, ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දෙන ලෙස අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජයට උපදෙස් දී තිබේ.

මෙම ඛේදජනක ජීවිත හානි සහ ව්‍යසනයෙන් ඇති වූ පීඩාකාරී තත්ත්වය සම්බන්ධයෙන්, විශේෂයෙන් තම ආදරණීයයන් අහිමි වූ පවුල්වලට, නේපාල රජයට සහ ජනතාවටශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන්ජනාධිපතිවරයා සිය හෘදයාංගම ශෝකය පළ කළේය.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර සමීප සහ දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම් සිහිපත් කරමින්, මෙම හදිසි ව්‍යසනයේදී ශ්‍රී ලංකාව, නේපාල ජනතාව සමඟ ශක්තිමත්ව අත්වැල් බැඳගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට ක්ෂණික සහන සහ මානුෂීය ආධාර සඳහා සහාය වීම මෙම මූල්‍ය දායකත්වයේ අරමුණයි.

අද උදෑසන, විදේශ අමාත්‍ය විජිත හේරත්නේපාල විදේශ අමාත්‍ය ෂිසිර් ඛනාල් සමඟ සංවාදයක යෙදෙමින්ශ්‍රී ලංකාවේ ශෝකයනේපාලය වෙත ලබාදෙන සහය සහ සහයෝගීතාව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජය, නේපාල රජය සමඟ සමීපව කටයුතු කරන අතර, සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට දායක විය හැකි ආකාර ගවේෂණය කිරීම අඛණ්ඩව සිදු කරනු ඇත.
 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ


2026 අගෝස්තු 27 වැනි දින

Show as Media Release on Homepage