Ministry News
හවුල්කාරිත්වයන් ශක්තිමත් කර ගනිමින් හා නව අවස්ථා උදාකර ගනිමින්  CHOGM 2026 සඳහා ශ්‍රී ලංකාව සිය සහභාගීත්වය සනිටුහන් කරයි.
ප්‍රකාශිත දිනය
img1

පොදු රාජ්‍ය මණ්ඩලීය හවුල්කාරිත්වයන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ සිය කැපවීම යළිත් තහවුරු කරමින්, 2026 නොවැම්බර් 01 සිට 04 වැනි දින දක්වා ඇන්ටිගුවා සහ බාබියුඩාහි ශාන්ත ජෝන්ස් නගරයේ පැවති 28 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM 2026) ශ්‍රී ලංකාව සක්‍රීයව සහභාගී විය. “සෞභාග්‍යමත් පොදු රාජ්‍ය මණ්ඩලයක් උදෙසා හවුල්කාරිත්වයන් සහ ආයෝජන වේගවත් කිරීම” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙහෙයවන ලදී.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 56 හි රාජ්‍ය නායකයින් සහ  ආණ්ඩු ප්‍රධානීන් එක්රැස් වූ මෙම සමුළුව, වෙළෙඳාම සහ ආයෝජන, ඩිජිටල් පරිවර්තනය, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ තරුණ සවිබල ගැන්වීම යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා වැදගත් වේදිකාවක් සපයන ලදී. මෙම සමුළුවට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය තුළින් පොදු රාජ්‍ය මණ්ඩලීය හවුල්කාර රටවල් සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, රටේ රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික සහ සංවර්ධන ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාමට අවස්ථාව සැලසිණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය නිල සංචාරය අතරතුරනොවැම්බර් 03 වැනි දින පැවැති සමුළුවේ සමාරම්භක උත්සවයට සහ විධායක සැසිවාරයන්ට සහභාගී වූ අතර, අනතුරුව නොවැම්බර් 04 වැනි දින පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් සහ ව්‍යාපාරික නායකයින්ගේ උදෑසන හමුවට සහ රාජ්‍ය නායකයින්ගේ විවේකී සාකච්ඡා සැසියට සහභාගී වූවාය.නොවැම්බර් 02 වැනි දින, පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයේ, අක්ෂි සෞඛ්‍යය පිළිබඳ ගෝලීය සමුළුවේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සංසදයේ රාජ්‍ය නායකයින් සහ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවේ ඉහළ මට්ටමේ සැසිවාරයන් අමතමින්, අදාළ ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය, ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා පවතින අවස්ථා පිළිබඳව අවධාරණය කළාය.

“ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඉදිරියට ගෙන යාම: සෞභාග්‍යමත් සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් පොදු රාජ්‍ය මණ්ඩලයක් සඳහා ආයෝජනය කිරීම” යන තේමාව යටතේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයේ සමාරම්භක පූර්ණ සැසිවාරය අමතමින්, ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් සමාජයන් ගොඩනැගීම සහ තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා කාන්තා නායකත්වයේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය විසින් අවධාරණය කරන ලදී. ආර්ථික, සමාජීය සහ දේශපාලනික තීරණ ගැනීමේ ක්‍රියාවලීන් තුළ කාන්තාවන්ගේ අර්ථවත් සහභාගීත්වය සහතික කිරීමේ අවශ්‍යතාවද එතුමිය විසින් අවධාරණය කරන ලදී.

අක්ෂි සෞඛ්‍යය පිළිබඳ ගෝලීය සමුළුව අමතමින්, විශ්වීය සෞඛ්‍ය සේවාව සහ අක්ෂි සත්කාර සේවා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන දෘෂ්ටි පරීක්ෂණ වැඩසටහන් සහ අවශ්‍යතා සහිත විශ්වවිද්‍යාල සිසුන් සඳහා ජනාධිපති අරමුදල හරහා ඇස් කණ්ණාඩි ලබාදීම ඇතුළු මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවා වැඩසටහන් පිළිබඳව ද එතුමිය මෙහිදී සඳහන් කළාය.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් සහ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව අමතමින්, අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ආයෝජන විභවයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය දේශගුණික මූල්‍ය ප්‍රවේශ මධ්‍යස්ථානයේ (Commonwealth Climate Finance Access Hub) සහය ලබන ව්‍යාපෘති දෙකක් ද හඳුන්වා දුන්නාය. එනම්, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන කෘෂි පරිසර පද්ධති ව්‍යාපෘතිය (Climate Resilient Agro-Ecosystems – CRAES Project) සහ හරිත හයිඩ්‍රජන් බලශක්තියෙන් ක්‍රියාත්මක වන ශුන්‍ය විමෝචන වරාය සැපයුම් හා ප්‍රවාහන ව්‍යාපෘතිය (GreenPort Cornerstone: Green Hydrogen-Powered Zero-Emission Port Logistics Project) යන ව්‍යාපෘති වේ.මෙම ව්‍යාපෘති පිළිබඳව වැඩිදුරටත් සොයා බලන ලෙසත්, ඒවා ආශ්‍රිත ආයෝජන සහ සහයෝගීතා අවස්ථා ප්‍රයෝජනයට ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරිය පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික නායකයින්ට සහ විභව ආයෝජකයින්ට ආරාධනා කළාය.

නොවැම්බර් 03 වැනි දින පැවැති විධායක සැසිවාරයන්හිදී, පොදු රාජ්‍ය මණ්ඩලය තුළ අන්තර්රාජ්‍ය වෙළෙඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීම, දේශගුණික මූල්‍ය සම්පත් බලමුලු ගැන්වීම, තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ තරුණ තරුණියන් සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලට අග්‍රාමාත්‍යවරිය සෙසු පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් සමඟ එක්වූවාය.විශේෂයෙන්ම කුඩා සහ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් මුහුණ දෙන සංවර්ධන අභියෝගවලට විසඳුම් සෙවීමේදී, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ, ආයෝජන හවුල්කාරිත්වයන් වර්ධනය කිරීමේ සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැදගත්කම එතුමිය විසින් අවධාරණය කරන ලදී.

සමුළුව පැවැත්වෙන අතරතුර, පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් සමඟ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරිය එම රටවල නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවාය. එහිදී වෙළෙඳාම, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලදී. මෙම සාකච්ඡාවලට රුවන්ඩා ජනාධිපති අතිගරු පෝල් කගාමේ, ජැමෙයිකානු අග්‍රාමාත්‍ය ආචාර්ය ඇන්ඩෲ හොල්නස්, මාලදිවයින් උප ජනාධිපති අතිගරු උස්. හුසේන් මොහොමඩ් ලතීෆ්, කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපති මහාචාර්ය කිතුර් කිඳිකි සහ උගන්ඩාවේ අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය ගරු නොර්බට් මාඕ යන මහත්වරු සමඟ පැවැති හමුවීම් ඇතුළත් විය.

එමෙන්ම, සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ බලශක්ති, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය ගරු ගන් කිම් යොං, මොරිෂස් අග්‍රාමාත්‍ය නවීන් රාම්ගූලම්, නැමීබියාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය ජිතුංගා එලයිජා ගුරාරේ, සීෂෙල්ස් රාජ්‍යයේ ප්‍රධාන අමාත්‍ය සහ ධීවර, කෘෂිකර්ම හා නිල් ආර්ථිකය පිළිබඳ අමාත්‍ය වොලස් කොස්ග්‍රෝ, ටැන්සානියාවේ විදේශ කටයුතු සහ නැගෙනහිර අප්‍රිකානු සහයෝගීතා අමාත්‍ය තානාපති මහ්මූද් තාබිත් කොම්බෝ සහ බංග්ලාදේශයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හුමයින් කොබීර් සමඟ ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා පැවැත්වූවාය.

මෙම හමුවීම්වලදී විශේෂ අවධානයක් යොමු වූ කරුණක් වූයේ 2027 ජනවාරි මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 (Sri Lanka Expo 2027) ප්‍රදර්ශනය සඳහා ජාත්‍යන්තර සහභාගීත්වය පුළුල් කිරීමයි. එම ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ලෙස තම රටවල ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් දිරිමත් කරන මෙන් අග්‍රාමාත්‍යවරිය අදාළ රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා සිටියාය. ඒ තුළින් ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳ, ආයෝජන සහ වාණිජ හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමේ අවස්ථා උදාකර ගැනීමට අපේක්ෂා කෙරේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ (Commonwealth Enterprise and Investment Council – CWEIC) සභාපති ලෝඩ් මාර්ලන්ඩ් සහ ගෝලීය වශයෙන් ප්‍රමුඛ පෙළේ ක්වොන්ටම් පරිගණක දෘඩාංග හා මෘදුකාංග සමාගමක් වන IonQ හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී නිකොලෝ ද මැසි සමඟ ද වැඩිදුර සාකච්ඡා පැවැත්විණි. මෙම හමුවීම්වලදී ශ්‍රී ලංකාවේ ආර්ථික, තාක්ෂණික සහ ව්‍යාපාරික හවුල්කාරිත්වයන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා පවතින විවිධ මාර්ග සහ අවස්ථා පිළිබඳව සාකච්ඡා කරන ලදී.

රාජ්‍ය නායක සමුළුවට පෙර, රාජ්‍ය නායකයින්ගේ සාකච්ඡා සඳහා වන න්‍යාය පත්‍රය සකස් කිරීමේ අරමුණින්, 2026 නොවැම්බර් 02 වැනි දින පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ හමුව (Pre-CHOGM Commonwealth Foreign Affairs Ministers Meeting – CFAMM) පැවැත්විණි. එම හමුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සහභාගී වූවාය.එහිදී අදහස් දක්වමින්, පොදු රාජ්‍ය මණ්ඩලය සඳහා ක්‍රියාකාරී ප්‍රතිඵල අත්කර දෙන ඉදිරි වැඩපිළිවෙළක අවශ්‍යතාව ඇය අවධාරණය කළාය. ඒ අනුව, පොදු රාජ්‍ය මණ්ඩලය තුළ අන්තර්රාජ්‍ය වෙළෙඳාම, ආයෝජන සහ ආර්ථික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම, වෙළෙඳපොළ ප්‍රවේශයට පවතින බාධා අවම කිරීම මෙන්ම පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල් යටිතල පහසුකම්, තාක්ෂණික නවෝත්පාදනය සහ දැනුම හුවමාරු කර ගැනීම යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ඇය පෙන්වා දුන්නාය.

CHOGM 2026 සමුළුව අවසන් වූයේ CHOGM අවසන් නිවේදනය (CHOGM Communiqué) සම්මත කර ගැනීමත් සමඟය. ඒ තුළින් වෙළෙඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීම, වෙළෙඳ බාධක ඉවත් කිරීම, ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් සැපයුම් දාමයන් ගොඩනැගීම, තිරසර ආර්ථික වර්ධනය වේගවත් කිරීම, දේශගුණික මූල්‍ය පහසුකම් සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම, ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනය ඉදිරියට ගෙන යාම මෙන්ම කාන්තාවන් සහ තරුණ තරුණියන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් සිය කැපවීම යළිත් තහවුරු කිරීමට රාජ්‍ය නායකයෝ කටයුතු කළහ.එම අවසන් නිවේදනය මඟින් විධිමත් සංවාද ක්‍රියාවලියක් ඔස්සේ වන්දිමය යුක්තිය පිළිබඳ කරුණු ද ආමන්ත්‍රණය කරනු ලැබූ අතර, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මානව හිමිකම් සහ බහුපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම ද යළි අවධාරණය කරන ලදී.

මෙම සමුළුවේදී අත්කර ගත් වැදගත් ප්‍රතිඵල අතර, 2030 වර්ෂය වන විට පොදු රාජ්‍ය මණ්ඩලය තුළ අන්තර්රාජ්‍ය වෙළෙඳාමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2ක් දක්වා දෙගුණයකින් ඉහළ නැංවීමේ අභිලාෂකාමී ඉලක්කය ද ප්‍රමුඛ විය. පුනර්ජනනීය බලශක්තිය, තරුණ කුසලතා සංවර්ධනය, වෙළෙඳාම පුළුල් කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා නව හවුල්කාරිත්වයන් සහ අරමුදල් සැපයීම් ඔස්සේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට අධික මුදලක් බලමුලු ගැන්වීම ද රාජ්‍ය නායකයෝ සාදරයෙන් පිළිගත්හ.ජාත්‍යන්තර වෙළෙඳපොළ සහ ආයෝජන අවස්ථා වෙත ප්‍රවේශ වීම පහසු කිරීම සඳහා, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සහාය වන වේදිකාවක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය වෙළෙඳ ද්වාරය නිල වශයෙන් දියත් කිරීම ද තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.මීට අමතරව, අක්ෂි සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම, අක්ෂි සත්කාර සේවා සඳහා ප්‍රවේශය පුළුල් කිරීම සහ වළක්වා ගත හැකි අන්ධභාවය පිටුදැකීම අරමුණු කරගනිමින්, අක්ෂි සෞඛ්‍යය පිළිබඳ ගෝලීය සමුළුවේදී රජයන් විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3ක මූල්‍ය ප්‍රතිඥා ලබා දීම ද විශේෂ ප්‍රතිඵලයක් විය.

CHOGM 2026 සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය තුළින්, බහුපාර්ශ්වික සහයෝගීතාව, ඵලදායී සංවාදය සහ පොදු සංවර්ධන ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම සඳහා වූ වේදිකාවක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලය කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන වැදගත්කම යළිත් තහවුරු විය. මෙම සංචාරය තුළින් රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ගැඹුරු කර ගැනීමට, නව ආර්ථික හවුල්කාරිත්වයන් ගවේෂණය කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආයෝජන විභවයන් ප්‍රවර්ධනය කිරීමට ද වටිනා අවස්ථා උදා විය.විශේෂයෙන්ම, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් සහ ව්‍යාපාරික නියෝජිතයින් සමඟ පැවැත්වූ සාකච්ඡා හා සම්බන්ධතා තුළින්, ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ප්‍රදර්ශනයට පෙර ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව වෙත ශ්‍රී ලංකාව පිළිබඳ දැනුවත් කිරීම සහ ව්‍යාපාරික සබඳතා පුළුල් කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් සැලසිණි.

අග්‍රාමාත්‍යවරිය සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජ, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර, යුරෝපා සහ උතුරු ඇමෙරිකා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දිලානි වීරකෝන්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ හිරුණි රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ජාත්‍යන්තර සබඳතා) පියුමී බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවන් සඳහා එක්ව සිටියහ.

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඔ 01

2026 නොවැම්බර් 11 වැනි දින

 

 

Show as Media Release on Homepage