Ministry News
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ඇන්ටිගුවා සහ බාබුඩාහි පැවැත්වෙන 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙයි
ප්‍රකාශිත දිනය

2026 නොවැම්බර් මස 1 සිට 4 වැනි දින දක්වා ඇන්ටිගුවා සහ බාබුඩාහි ශාන්ත ජෝන්ස් නගරයේදී පැවැත්වීමට නියමිත 28 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව (CHOGM 2026) සඳහා ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නායකත්වය ලබා දෙනු ඇත.

“සෞභාග්‍යමත් පොදු රාජ්‍ය මණ්ඩලයක් සඳහා හවුල්කාරිත්වයන් සහ ආයෝජන වේගවත් කිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 56 හි රාජ්‍ය නායකයින් සහ ආණ්ඩු ප්‍රධානීන් සමඟ අග්‍රාමාත්‍යවරියද සහභාගී වනු ඇත.

සමුළුව අතරතුරදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ විධායක සැසිවාරවලට සහ රාජ්‍ය නායකයින්ගේ විශේෂ හමුවට සහභාගී වනු ඇත. ආර්ථික සහයෝගීතාව සහ ආයෝජන, ඩිජිටල් පරිවර්තනය, තරුණ සවිබල ගැන්වීම, දේශගුණික විපර්යාස සහ යහපාලනය ඇතුළු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අදහස් සහ ප්‍රමුඛතා එහිදී ඉදිරිපත් කෙරෙනු ඇත.

සමුළුවට සමගාමීව, ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික, වෙළෙඳ සහ සංවර්ධන හවුල්කාරිත්වයන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ආචාර්ය අමරසූරිය රාජ්‍ය නායකයින් සහ ආණ්ඩු ප්‍රධානීන් කිහිපදෙනෙකු මෙන්ම අනෙකුත් දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

තවද, ආයෝජන මූලික කරගත් ආර්ථික වර්ධනය, කාන්තා සවිබල ගැන්වීම සහ ගෝලීය සෞඛ්‍ය සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා සහ අදහස් අවධාරණය කරමින් අග්‍රාමාත්‍යවරිය පොදු රාජ්‍ය මණ්ඩලයීය කාන්තා සංසදය, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සහ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ ආයෝජන සමුළුව සහ ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුව යන සමුළු අමතා දේශන පැවැත්වීමට නියමිතය.

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01

2026 ඔක්තෝබර් 31 වැනි දින

Show as Media Release on Homepage