විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, 2026 සැප්තැම්බර් 27 සිට 30 වැනි දින දක්වා නිව්යෝර්ක්හි පැවැති එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූයේය.
2026 සැප්තැම්බර් 28 වැනි දින පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉහළ මට්ටමේ සැසිවාරය (සාමාන්‍ය විවාදය) අමතමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, බහුපාර්ශ්විකත්වය සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම මෙන්ම “සියලු දෙනා වෙනුවෙන් ප්‍රතිඵල ලබා දෙන” එක්සත් ජාතීන්ගේ සංවිධානයක් සඳහා ආයෝජනය කිරීමේ කැපවීම යළිත් අවධාරණය කළේය. “විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම” යන තේමාව යටතේ අදහස් දැක්වූ අමාත්‍ය හේරත්, වර්තමාන ගැටලු සංවාදය සහ සහයෝගීතාව තුළින් ආමන්ත්‍රණය කර විසඳා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහය ඇතිව රජය ක්‍රියාත්මක කළ පුළුල් ප්‍රතිසාධන හා යළි ගොඩනැගීමේ කටයුතු පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා පැහැදිලි කළේය. අනාගතයේදී මෙවැනි ස්වාභාවික ආපදා නිරන්තරයෙන් ඇති විය හැකි බැවින්, දේශගුණික අනුවර්තනය හා බලපෑම් අවම කිරීමේ ක්‍රියාමාර්ගවල තීරණාත්මක අවශ්‍යතාවද ඔහු අවධාරණය කළේය.
2022 ආර්ථික අර්බුදය සහ රට මුහුණ දුන් විවිධ අභියෝග හමුවේ වුවද, සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීමට රජය සමත් වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, රට අත්කර ගනිමින් සිටින ආර්ථික වර්ධනය ද ඔහු අවධාරණය කළේය. රටේ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, වඩාත් සාධාරණ ණය නීති හඳුන්වාදීම සහ මධ්‍යම ආදායම් රටවල් සඳහා සංවර්ධන මූල්‍ය පහසුකම් සැලසීම ඇතුළු වැඩිදුර ජාත්‍යන්තර සහාය ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
විදේශ කටයුතු අමාත්‍යවරයා දරිද්‍රතාව සහ අසමානතාව පිටුදැකීම, සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වන ආයෝජන ආරක්ෂා කිරීම සහ සංවර්ධනය සියලු ප්‍රජාවන් හා ප්‍රදේශ වෙත ළඟා වන බව සහතික කිරීම සඳහා රජයේ කැපවීම අවධාරණය කළේය. විශේෂයෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක 16 කෙරෙහි අවධානය යොමු කරමින්, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ඔහු යළිත් තහවුරු කළේය.
යහපාලනය, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ ආයතනික විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම මෙන්ම, ජාතික සමගිය, සංහිඳියාව සහ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.
දිවයිනක් ලෙස, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ අනුගතවීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කළේය. “ශ්‍රී ලංකාව හැඩගැස්වීමට දායක වූ නීතිමය රාමුවක්” වන මෙම සම්මුතියට අනුකූලව සාගර සම්පත් තිරසර ලෙස භාවිත කිරීම සහ සාගර ආරක්ෂා කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය සමඟ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන සහයෝගිතාව පිළිබඳව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. දේශ සීමාවෙන් ඔබ්බෙහි පිහිටි ප්‍රදේශවල සාගර ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය. වර්තමාන සහ අනාගත පරපුර වෙනුවෙන් මානව වර්ගයාගේ පොදු උරුමයක් ලෙස සාගර සුරැකීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ද මෙහිදී යළි තහවුරු කෙරිණි.
ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින ඩිජිටල්කරණ වැඩපිළිවෙළ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය. ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, කෘත්‍රිම බුද්ධිය ඇතුළු ක්ෂේත්‍රවල ජාතික හැකියාව ශක්තිමත් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය පුළුල් කිරීම සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති ප්‍රගතිය ද ඔහු පෙන්වා දුන්නේය.“සියලු දෙනා ඇතුළත් ඩිජිටල් අනාගතයක්” ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ආචාරධාර්මික මාර්ගෝපදේශ සහ නියාමන රාමුවක් සංවර්ධනය කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
නිරායුධකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් පුරා දක්වා ඇති කැපවීම අමාත්‍යවරයා සිහිපත් කළේය. ඉන්දියානු සාගරය සාම කලාපයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව මුල් අවධියේදීම ඉදිරිපත් කළ යෝජනාවේ සිට, 1995 න්‍යෂ්ටික අවි පැතිරීම වැළැක්වීම පිළිබඳ ගිවිසුම සමාලෝචනය හා දීර්ඝ කිරීමේ සමුළුව ඉටු කළ නායකත්ව භූමිකාව දක්වා එම කැපවීම විහිදී යයි. න්‍යෂ්ටික අවි භාවිතයට එරෙහි එකම සැබෑ සහතිකය වන්නේ “න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් හා සත්‍යාපනය කළ හැකි අයුරින් තුරන් කිරීම” බවට ශ්‍රී ලංකාව දරන ස්ථිර විශ්වාසය ද අමාත්‍යවරයා යළි අවධාරණය කළේය.
ගෝලීය සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ සහ වෙනත් කලාපීය සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් පුරාවට ලබා දී ඇති දායකත්වය අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී. එක්සත් ජාතීන්ගේ ක්ෂේත්‍ර මෙහෙයුම්වල නිරත ශ්‍රී ලාංකික සාම සාධක භටයින්ට හිමිව ඇති ඇගයීම් පිළිබඳව ද ඔහු සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා රජය ගෙන ඇති පුළුල් ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු දැක්වීය.
ලොව පුරා විශාල බලපෑමක් ඇති කිරීමට සමත් වී ඇති, බටහිර ආසියාවේ පවතින ගැටුම විසඳීමේදී සංයමයෙන් කටයුතු කරන ලෙසත්, සාකච්ඡාවල නිරත වන ලෙසත් විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. ජාත්‍යන්තර නීතියට ගරු කරමින් ගැටුම් සාමකාමීව විසඳා ගැනීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය. ගාසා තීරයේ ක්‍රියාත්මක සටන් විරාමය අගය කළ ඔහු, රාජ්‍යත්වය සහ ද්විත්ව රාජ්‍ය විසඳුමක් සඳහා පලස්තීන ජනතාව සතු අහිමි කළ නොහැකි අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන සහාය නැවත තහවුරු කළේය.
ජාත්‍යන්තර මානුෂීය නීතිය ඇතුළු ජාත්‍යන්තර නීතිය කෙරෙහි ශ්‍රී ලංකාව තුළ පවතින නොසැලෙන කැපවීම විදේශ අමාත්‍යවරයා අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාව යනු "කාරුණික හදවතක් ඇති කුඩා දූපත් රාජ්‍යයක්" බවත්, "ගැටුම් සහ දැඩි බෙදීම් පවතින අවස්ථාවලදී පවා මනුෂ්‍යත්වය ඉස්මතු කළ හැකි බව විශ්වාස කරන" රටක් බවත් නැවත ප්‍රකාශ කළේය.
සැප්තැම්බර් 29 වන අඟහරුවාදා පැවති න්‍යෂ්ටික අවි මුළුමනින්ම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේ ඉහළ මට්ටමේ පූර්ණ සැසියේදී අදහස් දක්වමින්, විදේශ අමාත්‍ය හේරත්, ගෝලීය න්‍යෂ්ටික නිරායුධකරණය සම්බන්ධයෙන් අර්ථවත් ප්‍රගතියක් අත්කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. වර්තමානයේ න්‍යෂ්ටික අවි වෙනුවෙන් වෙන් කර ඇති සම්පත්, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසාර සංවර්ධනය දියුණු කිරීම, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම, බලශක්ති ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම සහ දේශගුණික විපර්යාසයන්ගෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දීම සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ඔහු සඳහන් කෙළේය.
සැප්තැම්බර් 30 වැනි බදාදා පැවති මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, විදේශ අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා හමුවිය. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙන්ම ජාතික සංහිඳියා ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා මහලේකම්වරයා දැනුවත් කළේය. තීරණාත්මක අවස්ථාවකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම සම්බන්ධයෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහලේකම්වරයා දැක්වූ නායකත්වය අමාත්‍යවරයා අගය කළේය. 1978 වසරේදී පෘතුගීසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය මෙන්ම, ඉන් පසුව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය ද, මහලේකම්වරයා මෙම හමුවේදී සිහිපත් කළේය. මෙම හමුවේදී, ආර්ථික ප්‍රකෘතිමත්භාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රත්‍යක්ෂ ප්‍රගතිය පිළිබඳව මහලේකම්වරයා සිය පැසසුම පළ කළ අතර, තිරසාර සංවර්ධනය මෙන්ම සාමය හා සංහිඳියාව උදෙසා රට ගෙන යන ක්‍රියාමාර්ග සඳහා සිය අඛණ්ඩ සහයෝගය නැවතත් තහවුරු කළේය.
මෙම සංචාරය අතරතුරදී, විදේශ අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබඳ උප මහලේකම් ජොන්-පියෑර් ලැකෘවා සහ මෙහෙයුම් සහාය පිළිබඳ උප මහලේකම් අතුල් කරේ හමුවිය. සාම සාධක කටයුතු ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව මෙම හමුවීම්වලදී සාකච්ඡා කෙරිණි. එක්සත් ජාතීන්ගේ සහ වෙනත් සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම සහ ලබා දෙන ඵලදායී සහයෝගය අමාත්‍ය හේරත් මහතා මෙහිදී නැවත තහවුරු කළේය.
සමුළුව අතරතුරදී, විදේශ අමාත්‍යවරයා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය අතිගරු ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නාහියන්; ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය අතිගරු ආචාර්ය සෙයිද් අබ්බාස් අරග්චි; සහ නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ගරු ෂිසිර් ඛනාල් ඇතුළු ඔහුගේ සගයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. ද්විපාර්ශ්වික කටයුතු මගින් අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට, හවුල් ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාමට සහ වැඩිදුර සහයෝගීතාව සඳහා මාර්ග ගවේෂණය කිරීමට එම සාකච්ඡා වටිනා අවස්ථාවක් සැපයීය.
සාමය, තිරසාර සංවර්ධනය, ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව, නිරායුධකරණය, ගෝලීය සෞඛ්‍යය, සමුද්‍රීය පාලනය සහ විවෘත ඩිජිටල් අනාගතයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා ඉදිරියට ගෙන යන අතරම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී සහ ඵලදායී සම්බන්ධතාව, විදේශ අමාත්‍යවරයාගේ සංචාරය මඟින් නැවත තහවුරු විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2026 ඔක්තෝබර් 01 වැනි දින








