Ministry News
විදේශ අමාත්‍ය විජිත හේරත්, 81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙයි.
ප්‍රකාශිත දිනය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් 2026 සැප්තැම්බර් 27 සිට 30 වැනි දින දක්වා පැවැත්වෙන 81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය (UNGA) සඳහා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙනු ඇත.

 

මෙම සැසි වාරයේ ඉහළ පෙළේ සතියේදී මහා මණ්ඩලයේ මහ විවාදය 2026 සැප්තැම්බර් 28 වැනි දින පැවැත්වෙන අතර එහිදී විදේශ අමාත්‍ය විජිත හේරත් විසින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ තේමාව වන “විශ්වාසය යළි ගොඩනැඟීම, පරිවර්තනය කළමනාකරණය කිරීම: සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන තේමාවට අනුකූලව එම ප්‍රකාශය සිදු කරනු ඇත.

 

මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ 01

2026 සැප්තැම්බර් 25 වැනි දින

Show as Media Release on Homepage