Ministry News
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිස  අසර්බයිජානයේ පැවැත්වෙන 7 වැනි CICA සමුළුවට සහභාගී වේ.
ප්‍රකාශිත දිනය

අසර්බයිජානයේ බාකු නුවරදී, 2026 ඔක්තෝබර් 14 සහ 15 යන දිනවල පැවැත්වීමට නියමිත, 'ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ' (CICA) 7 වැනි සැසි වාරයට,විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වීමට නියමිතය.


"ශක්තිමත් CICA සංසදයක්: ආසියානු කලාපයේ සම්බන්ධතාව, ඩිජිටල්කරණය සහ තිරසාර වර්ධනය" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේදී, අමාත්‍ය හේරත් ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.

 

මෙම සංචාරය අතරතුදී, අමාත්‍ය හේරත්, කසකස්තානය, උස්බෙකිස්තානය සහ ටජිකිස්තානය ඇතුළු සාමාජික රටවල සිය පාර්ශ්වකරුවන් මෙන්ම, සත්කාරක රාජ්‍යය වන අසර්බයිජානයේ නායකයින් සහ CICA හි මහලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. 

 

අසර්බයිජානයේ පැවැත්වීමට නියමිත මෙම 7 වැනි CICA සමුළුව සඳහා දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග කලාපය පුරා විහිදුණු එහි සාමාජික රටවල් 28හි රාජ්‍ය හා රජයේ ප්‍රධානීන් මෙන්ම විදේශ අමාත්‍යවරුන් ද එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

පුළුල් ආසියානු කලාපය සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, මධ්‍යම ආසියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් සමඟ නව ආර්ථික හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමටත්, මෙම සංචාරය කාලෝචිත අවස්ථාවක් වනු ඇත.

 

CICA යනු කලාපය තුළ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගීතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත්, ආසියාවේ විශාලතම කලාපීය අන්තර්-රාජ්‍ය සංසදයයි.


 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 

2026 ඔක්තෝබර් 13 වැනි දින

 

Show as Media Release on Homepage