Ministry News
ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා අවස්ථා 10,000ක් විවර කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් තායිලන්තයේ සිදු කළ නිල සංචාරය සාර්ථකව අවසන් කරයි.
ප්‍රකාශිත දිනය
Foreign Minister Vijitha Herath Concludes successful Official Visit to Thailand opening up 10,000 employment opportunities for Sri Lankans

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, තායිලන්ත කම්කරු අමාත්‍ය ජුලපාන් අමෝර්න්විවාට්ගේ ආරාධනයකට අනුව, 2026 සැප්තැම්බර් 14 සිට 16 වැනි දින දක්වා තායිලන්තයේ සිදු කළ නිල සංචාරය සාර්ථකව අවසන් කළේය.

දෙදින නිල සංචාරය අතරතුරදී, අමාත්‍ය හේරත් සහ තායිලන්ත කම්කරු අමාත්‍ය අමෝර්න්විවාට් විසින් කම්කරු සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවා නියුක්ත කිරීම පිළිබඳ එකඟතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, එමඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා 10,000ක් විවෘත කෙරිණි.මෙම ගිවිසුම් මඟින් තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම සහ සේවා නියුක්ත කිරීම සඳහා විධිමත් රාමුවක් ස්ථාපිත කරන අතරම, ඔවුන්ගේ අයිතිවාසිකම්, සුබසාධනය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම ද අරමුණු කරයි. තවද, ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ගමනාන්ත විවිධාංගීකරණය කිරීමට මෙන්ම, ශ්‍රී ලාංකිකයන් සඳහා නිපුණතා මත පදනම් වූ සහ යහපත් විදේශ රැකියා අවස්ථා සඳහා ප්‍රවේශය පුළුල් කිරීමට ද මෙම ගිවිසුම් දායක වේ.

අමාත්‍ය හේරත් මහතා තායිලන්තයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය සරුන් චරොන්සුවන් සමඟ ද සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු කරන ලදී. විශේෂයෙන්ම ආර්ථික සහයෝගීතාව, ආයෝජන සහ සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය, සමුද්‍රීය ආරක්ෂාව සහ සංස්කෘතික හුවමාරු යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි. සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන් සඳහා යෝජිත ද්විපාර්ශ්වික වීසා නිදහස් කිරීමේ ගිවිසුම අවසන් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, එහි අරමුණ වූයේ දෙරට අතර බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා පහසුකම් සැලසීමයි.

සිය නිල සංචාරයේ කොටසක් ලෙස, අමාත්‍ය හේරත් තායිලන්ත සංචාරක අධිකාරියේ (TAT) ආණ්ඩුකාරවරයා සමඟ ද සාකච්ඡා පැවැත්වීය. එහිදී දෙපාර්ශ්වය සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සහ සංචාරක ගමනාන්ත ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත් අතර, තායිලන්තයේ අත්දැකීම් සහ හොඳම භාවිතයන් වෙත විශේෂ අවධානය යොමු කෙරිණි. ගමනාන්ත සංවර්ධනය සඳහා නවෝත්පාදන ප්‍රවේශයන් භාවිත කිරීම, තාක්ෂණය යොදා ගැනීම සහ සංස්කෘතික උරුමයන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම හමුව මඟින් වැදගත් අවබෝධයක් ලබා දුන් අතර, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීම ද එහි අරමුණ විය.

මෙම සංචාරය අතරතුරදී තායිලන්තයේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරික නායකයන් සමඟ ද සාකච්ඡා පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ පවතින විභව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම සහ දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර වැඩිදුර සබඳතා සහ සහයෝගීතාව සඳහා පහසුකම් සැලසීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක හා රැකියා ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට, සංක්‍රමණ සහ ශ්‍රම සංචලතාව සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩිදියුණු කිරීමට, දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමට සහ ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට අවස්ථාව සලසා දුන්නේය.

මෙම සංචාරයේදී තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු අමාත්‍ය හේරත් සමඟ එක්ව සිටියහ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01

2026 සැප්තැම්බර් 18 වැනි දින 

Foreign Minister Vijitha Herath Concludes successful Official Visit to Thailand opening up 10,000 employment opportunities for Sri LankansForeign Minister Vijitha Herath Concludes successful Official Visit to Thailand opening up 10,000 employment opportunities for Sri LankansForeign Minister Vijitha Herath Concludes successful Official Visit to Thailand opening up 10,000 employment opportunities for Sri LankansForeign Minister Vijitha Herath Concludes successful Official Visit to Thailand opening up 10,000 employment opportunities for Sri LankansForeign Minister Vijitha Herath Concludes successful Official Visit to Thailand opening up 10,000 employment opportunities for Sri Lankans
Show as Media Release on Homepage