
'ආසියාවේ අන්තර් ක්රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුව' (CICA) හි 7 වැනි සැසිවාරයට සහභාගී වූ ශ්රී ලංකා දූත පිරිසේ නායකත්වය දරමින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත්, අසර්බයිජානයේ බාකු නුවර සිදු කළ දෙදින නිල සංචාරය අවසන් කළේය.
අසර්බයිජානයේ සභාපතිත්වය යටතේ 2026 ඔක්තෝබර් 15 වැනි දින පැවැති මෙම සමුළුව සඳහා, සාමාජික රටවල් 28ක රාජ්ය නායකයින්, උප ජනාධිපතිවරුන් සහ විදේශ අමාත්යවරුන් එක්ව සිටියහ. එහිදී, වඩාත් ශක්තිමත් සම්බන්ධතාවක්, ඩිජිටල්කරණය සහ තිරසාර සංවර්ධනය තුළින් 'වඩාත් ශක්තිමත් CICA සංවිධානයක්' ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා සිදු කෙරිණි.
ශ්රී ලංකාවේ ප්රකාශය ඉදිරිපත් කරමින් අමාත්ය හේරත්, "වඩාත් ශක්තිමත් CICA සංවිධානයක්: ආසියානු කලාපය තුළ සම්බන්ධතාව, ඩිජිටල්කරණය සහ තිරසාර සංවර්ධනය" යන CICA හි තේමාව අගය කළ අතර, ආසියානු කලාපය පුරා අර්ථවත් ආර්ථික ඒකාබද්ධතාවක් ඇති කර ගැනීම සඳහා ශක්තිමත් සම්බන්ධතා, ඩිජිටල් පරිවර්තනය සහ සාමාජික රටවල් අතර සමීප හවුල්කාරිත්වය අත්යවශ්ය වන බව අවධාරණය කළේය.
'බාකු ප්රකාශනය' සම්මත කර ගැනීම, ලාඕ මහජන ප්රජාතන්ත්රවාදී ජනරජය වෙත පූර්ණ සාමාජිකත්වය ලබාදීම, අසර්බයිජානයේ සභාපතිත්වය (2026-2028) දීර්ඝ කිරීම සහ සුල්තාන් හාජියෙව් CICA හි මහලේකම්වරයා ලෙස පත් කිරීමත් සමඟ මෙම සමුළුව නිමාවට පත් විය.
මෙම නිල සංචාරයේ අංගයක් ලෙස, අමාත්ය හේරත්, අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් 'සුගුල්බා මාලිගයේ' දී හමුවිය. එමෙන්ම, අසර්බයිජානය, බහරේනය, ටජිකිස්තානය, තුර්කිය සහ පලස්තීනය යන රටවල සිය පාර්ශ්වකරුවන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ ඔහු, CICAහි මහලේකම්, තානාපති කයිරට් සරබායි මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීය. වෙළෙඳාම, සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ බලශක්ති සුරක්ෂිතතාව යන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවල ප්රධාන අවධානය යොමු විය.
අසර්බයිජාන ජනාධිපතිවරයා සමඟ පැවැති හමුවෙන් අනතුරුව, බලශක්ති සහයෝගීතාව සඳහා උපායමාර්ගික අවස්ථා ගවේෂණය කිරීමේ අරමුණින්, අසර්බයිජානයේ ප්රමුඛ බලශක්ති සමාගමක් වන 'SOCAR' සමඟ ඉහළ මට්ටමේ ව්යාපාරික හමුවක් ද පැවැත්විණි.
අමාත්ය හේරත් සමඟ නියෝජිත පිරිසේ සාමාජිකයන් ලෙස, අසර්බයිජානය සඳහා ප්රතීතනය ලත්, ඉරානයේ ශ්රී ලංකා තානාපති මහාචාර්ය ෆසීහා අස්මි සහ විදේශ කටයුතු අමාත්යාංශයේ අග්නිදිග සහ මධ්යම ආසියානු අංශයේ අධ්යක්ෂ ජනරාල් චමරි රොද්රිගෝ එක්ව සිටියහ.
මෙම සංචාරය මගින්, CICA සංවිධානය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ සාමාජික රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීමට ශ්රී ලංකාව දක්වන කැපවීම නැවත තහවුරු විය. ආසියාවේ කලාපීය සම්බන්ධතාව, ඩිජිටල් පරිවර්තනය සහ තිරසාර ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යන අතරම, වෙළෙඳාම, සංචාරක, කෘෂිකර්මාන්තය සහ බලශක්ති ක්ෂේත්රයන්හි අන්යෝන්ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වයන් වර්ධනය කිරීමේ වැදගත්කම ද මෙම සංචාරය මගින් අවධාරණය කෙරිණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය
කොළඹ
2026 ඔක්තෝබර් 20 වැනි දින






