Ministry News
ආචාර්ය ෆ්‍රිජෝෆ් නන්සන් නෞකාව, ශ්‍රී ලංකාව සමඟ එක්ව සමුද්‍ර විද්‍යාත්මක සමීක්ෂණයක් පවත්වයි
ප්‍රකාශිත දිනය
Vessel Dr. Fridtjof Nansen to Conduct Marine Scientific Survey jointly with Sri Lanka

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය (NARA) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ, සමුද්‍ර විද්‍යාත්මක සමීක්ෂණයක් පැවැත්වීම සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යටතේ, එක්සත් ජාතීන්ගේ ධජය සහිතව යාත්‍රා කෙරෙන ආචාර්ය ෆ්‍රිජෝෆ් නන්සන් පර්යේෂණ නෞකාව, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන්, අද දින, මෙරටට පැමිණීමට නියමිතය.

තිරසාර ධීවර කළමනාකරණය සඳහා තීරණාත්මක විද්‍යාත්මක දත්ත රැස් කිරීමට සහ දේශගුණික විපර්යාස, සමුද්‍රීය පරිසර පද්ධතිවලට බලපාන ආකාරය හඳුනා ගැනීමට, ආචාර්ය ෆ්‍රිජෝෆ් නන්සන් පර්යේෂණ නෞකාව රටවල්වලට සහාය වේ. දින 32ක් පුරා පැවැත්වෙන මෙම සමීක්ෂණය, ශ්‍රී ලංකාවේ තිරසාර ධීවර කළමනාකරණය සහ සමුද්‍රීය පාලනයට සහාය වන යාවත්කාලීන විද්‍යාත්මක දත්ත සැපයීම, සමුද්‍රීය ජීව සම්පත් සහ සමුද්‍රීය පරිසර පද්ධති තක්සේරු කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. මෙහෙයුම අතරතුරදී, විද්‍යාඥයින් ශ්‍රී ලංකා සාගරයේ ප්‍රධාන මත්ස්‍ය ගහනයේ ජෛව ස්කන්ධය සහ ව්‍යාප්තිය තක්සේරු කිරීම සඳහා ජල-ධ්වනි සමීක්ෂණ; සමුද්‍ර දූෂණ මට්ටම් තක්සේරු කිරීම; සහ ජෛව විවිධත්වය නිරීක්ෂණය ඇතුළු ක්‍රියාකාරකම් රාශියක් සිදු කරනු ඇත.

ශක්‍යතා සංවර්ධනය, මෙම වැඩසටහනේ වැදගත් අංගයක් වේ. මෙම මෙහෙයුම මගින් NARA  ආයතනය සහ අනෙකුත් ජාතික ආයතනවල ශ්‍රී ලාංකික විද්‍යාඥයින්, ජාත්‍යන්තර විශේෂඥයින් සමඟ සම්බන්ධ කරනු ඇති අතර, විද්‍යාත්මක සහයෝගීතාව සහ දැනුම් හුවමාරුව ප්‍රවර්ධනය කරනු ඇත.

ශ්‍රී ලංකාව, මීට ඉහතදී, එනම් 2018 දී,  ආචාර්ය ෆ්‍රිජෝෆ් නන්සන් පර්යේෂණ නෞකාව සඳහා පහසුකම් සැපයු අතර, එහිදී නෞකාව ජාතික ආයතන සමඟ සහයෝගයෙන්, ශ්‍රී ලංකාවේ මහාද්වීපික තටක සහ ඉහළ බෑවුම පිළිබඳ පුළුල් සමීක්ෂණයක් සිදු කළේය. නන්සන් වැඩසටහන යටතේ දියත් වූ දිගුකාලීන විද්‍යාත්මක හවුල්කාරිත්වයක් පිළිබිඹු කරමින්, මීට ඉහතදී, එනම් 1978-1980 වසරවල දී, ශ්‍රී ලංකා සාගර කලාපය තුළ නන්සන් සමීක්ෂණ සිදු වී ඇත.

තිරසාර ධීවර කර්මාන්තය, සමුද්‍රීය පරිසර පද්ධතිවල ආරක්ෂාව සහ ඉන්දියානු සාගර කලාපයේ ජාත්‍යන්තර විද්‍යාත්මක සහයෝගීතාව සඳහා වන රටෙහි අඛණ්ඩ කැපවීම, මෙම සමීක්ෂණයට, ශ්‍රී ලංකාවේ සහභාගීත්වය තුළින් පිළිබිඹු කෙරෙයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 මාර්තු 11 වැනි දින