රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහාය ඇතිව, රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ (NOSTROY) ඉහළ මට්ටමේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් 2026 ජූලි 22-25 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.
මෙම ඉහළ මට්ටමේ නියෝජිත පිරිස 2026 ජූලි 23 වන දින අමාත්‍යාංශයේදී, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ හමුවිය. නියෝජිත පිරිස පිළිගනිමින්, වැඩබලන අමාත්‍ය හේමචන්ද්‍ර, ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර දිගුකාලීන හා සුහද සබඳතා ඉස්මතු කළ අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. මේ සඳහා, යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජන සහ කුසලතා සහිත ශ්‍රම හුවමාරුව යන අංශවල සහයෝගීතාවය වැඩි දියුණු කිරීමෙන් දෙරටටම ප්‍රත්‍යක්ෂ ආර්ථික ප්‍රතිලාභ අත්වන බව වැඩබලන අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ශ්‍රී ලංකාවේ සංචාරක අංශයේ, විශේෂයෙන් හෝටල් සංවර්ධනය සහ සංචාරක යටිතල පහසුකම්වල ආයෝජන හැකියාවන් පිළිබඳව අවධාරණය කළේය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ආයෝජන මණ්ඩලය (BOI) වැනි අදාළ රාජ්‍ය ආයතන හරහා නිශ්චිත සංචාරක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල විදේශීය ආයෝජකයින්ට ඇති අවස්ථා පිළිබඳව ඔහු නියෝජිතයින්ට පැහැදිලි කළේය.
උප සභාපති ඇන්ටන් මොරොස්ගේ නායකත්වයෙන් යුත් මෙම දූත පිරිසට ප්‍රමුඛ රුසියානු ඉදිකිරීම් සමාගම්වල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ තාක්ෂණික විශේෂඥයින් විසිහතර දෙනෙකු ඇතුළත් විය. මෙම සංචාරය අතරතුරදී, රුසියානු දූත පිරිස, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ආයෝජන මණ්ඩලය සමඟ ද සාකච්ඡා පැවැත්වූහ. යටිතල පහසුකම් සහ නාගරික සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජන සහ සහයෝගීතාව සඳහා අවස්ථා ගවේෂණය කිරීම මෙම සාකච්ඡාවල අරමුණ විය. රුසියානු සමූහාණ්ඩුවේ සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික ඉදිකිරීම් වෘත්තිකයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීමේ මාර්ග ගවේෂණය කිරීමේ අරමුණින්, දූත පිරිස, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ (SLBFE) නියෝජිතයින්ද හමුවුහ.
රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමය, රුසියාවේ සහ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ඉදිකිරීම් සමාගම්වලින් අඩකට වඩා නියෝජනය කරන රුසියානු සමූහාණ්ඩුවේ ඉදිකිරීම් අංශයේ විශාලතම සංගමය වේ. රුසියානු ඉදිකිරීම් අංශය තුළ නවෝත්පාදන, කර්මාන්ත ප්‍රමිතීන් සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේදී සංගමය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.
ආයෝජන, යටිතල පහසුකම් සංවර්ධනය, සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේම පොදු කැපවීම මෙම සංචාරය මගින් නැවත තහවුරු කෙරිණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2026 ජූලි 24 වැනි දින





